යළිත් සහල් අර්බුදයක්


දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මේ වන විට යළිත් සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල ලංකා නාඩු කිලෝවක් රුපියල් 260 දක්වා ඉහළ මිලකට අලෙවි කරන බවද පාරිභෝගික ජනතාව සඳහන් කරති.

තොග වෙළඳුන් විසින් සිල්ලර මිලට සිල්ලර වෙළඳුන්ට සහල් අලෙවි කිරීම නිසා ඇතැම් ප්‍රදේශවල මේ වන විට සහල් සිල්ලරට විකිණීමේ කටයුතුවලින් වෙළඳුන් ඉවත් වී තිබේ.

අද (20දා)  වන විට ඉන්දියාවෙන් සහල් ම්‍රෙටික් ටොන් හැත්ත දෙදහසකට වැඩි ප්‍රමාණයක් ගෙන්වනු ඇතැයි අපේක්ෂා කළත් ඊයේ (19දා)  වන විට මෙරටට රැගෙනවිත් තිබුණේ සහල් මෙට්‍රික් ටොන් 22,600ක ප්‍රමාණයක් පමණි.

රේගුවෙන් නිදහස් කර සහල් තොග අතර කැකුළු සහල් මෙට්‍රික් ටොන් 9,600ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 13,000ක් වේ.
සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් අවසර ලබාදුන් කාලය අද  (20දා) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන අතර, අදාළ කාලය දීර්ඝ නොකළහොත් හෙට සිට යළිත් උග්‍ර සහල් හිඟයක් නිර්මාණය වීමේ අවදානමක්ද මතුව තිබේ.

මෙරට මෝල් හිමියන් විසින් පසුගිය 09 වන දින ප්‍රකාශයට පත් කළ සහල් මිලට අනුව සහල් තොග ලබා දෙන බවට මෝල් හිමියන් විසින් පොරොන්දු වුවත් කීරි සම්බා සහල් හැර අනෙකුත් සහල් තොග දෛනිකව නිසි ලෙස නිකුත් නොකරන බවද සහල් තොග වෙළඳුන් සඳහන් කරති.

මෙවර සහල් මිල තීරණය කිරීමේදී තොග මිල හා සිල්ලර මිල වශයෙන් මිල දෙකක් ප්‍රකාශයට පත් කළ බවත්, මේ අනුව තොග වෙළඳුන් විසින් සිල්ලර වෙළඳුන්ට ලබා දිය යුතු මුදලට සහල් ලබා නොදෙන බවද ඇතැම් ප්‍රදේශවල සිල්ලර වෙළඳුන් පෙන්වා දෙති. 
පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළහොත් විශාල දඩ මුදලකට යටත් වීමට සිදුවන බවත්, මේ නිසා සහල් වෙළඳාමෙන් ඉවත් වීමට සිදුව තිබෙන බවද සඳහන් කරති.

තොග වෙළඳුන් විසින් සිල්ලර වෙළඳුන්ට සහල් ලබා දීමේදී කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලට වඩා රුපියල් පහක් අඩුවෙන් සහල් තොග ලබා දිය යුතු බවත්, එහෙත් උපරිම සිල්ලර මිලට සහල් ලබා දෙන නිසා එම මුදලට සහල් ලබා ගෙන අලෙවි කිරීමෙන් කිසිදු ලාභයක් නොමැති බවද පෙන්වා දෙති. පසුගිය 09වන දින ප්‍රකාශයට පත් සහල් පාලන මිලට අනුව දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත්, එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන් කර තිබේ.

දේශීය නාඩු (සුදු හා රතු නාඩු වාෂ්‍පයෙන් තබන ලද හෝ තැම්බූ) සහල් කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර, එහි උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

මීට අමතරව දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 235ක් වන අතර, උපරිම සිල්ලර මිල රුපියල් 240කි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම්  එකක තොග මිල රුපියල් 255ක් වන අතර, උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වෙයි.
මේ අතර ආනයනික සහල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ  අනුව ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වන අතර, ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් හා ආනයනික සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 230ක් වේ.
පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන පිරිස්වලට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. 

සහල් උපරිම මිලට වඩා වැඩි මිලට විකිණීම යටතේ තනි පුද්ගල සමාගමකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා මුදල් දඩයක් හා මාස 06ක සිරදඬුවම් ලබා දීමට හා මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට නීති තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
මීට අමතරව පුද්ගලික සමාගමකට ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා මුදල්මය දඩයකට හෝ මාස 06ක සිරදඬුවමක් හෝ මෙම දඬුවම් දෙකකටම යටත් කිරීමට නීති පවතින බවද සඳහන් කරයි.සහල් හෝ වී තොග සඟවා ගෙන සිටින පිරිස් පිළිබඳව 1977 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියි.

 



Recommended Articles