මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමුන්ගේ නම් අධිකරණයේදී එළියට


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරම කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු අටදෙනකු බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (19) දැනුම් දුන්නේය.

රජයට රුපියල් කෝටි 500කට අධික බදු මුදල් අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ 200ක් පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් එම මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කිරීමේදී මේ බව හෙළි වු බව දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු එහි සේවකයින් හයදෙනෙකුට එරෙහිව නඩු පැවරීය.

අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරන ලද්දේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ බන්දුල ජයසිංහ, එහි පරිගණක වැඩසටහන් සම්පාදකවරයා වශයෙන් කටයුතු කළ රෝහිත සමරවීර, වාහන පැවරුම් අංශයේ නිලධාරීන් හා ලිපිකරුවන් වන උපුල් ප්‍රියන්ත, හේමන්ත මුත්තුංග, චන්න රෝහිත, ප්‍රියංගනී සිරිමාන්න, සහ වාහන  ආනයනකරුවන් බව කියන ව්‍යාපාරිකයින් වන ටී.බී. ඊරියගම හා නලින්ද මහේෂ් කුමාර නමැත්තන්ට එරෙහිවය.

1999 වසරේ සිට 2024 වසවර දක්වා වු කාලය තුළදී රේගුවට හොර රහසේ සුඛෝපභෝගී රථ මෙරටට ආනයනය කිරීම, 2015 වසරින් පසු රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළ සුඛෝපභෝගී රථ 2005 වසරට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ බව අඟවමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම, 1999 වසරේ සිට මේ දක්වා ඒ සඳහා ආධාර අනුබල දීම, අංක තහඩු නිකුත් කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ටට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට වරෙහිව චෝදනා නගා ඇත.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙ අංක 163 සමග කියවෙන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරුවන් කර ඇති බවට අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ බුද්ධි ඒකකයේ නිලධාරීන් රහසිගතව කළ විමර්ශනයකදී මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී 2015 වසරින් පසු සුඛෝපභෝගී වාහන 200ක් පමණ මෙරටට ආනයනය කර ඇති බව අනාවරණයය වු බව කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

නීතීවිරෝධී ආකාරයෙන් මෙරටට ආනයනය කළ අදාළ වාහන රාජසන්තක කිරීමට අධිකරණයෙන් ලබාගත් නියෝග අනුව පසුගිය සතිය වන විට අල්ලස් කොමිසම වාහන 20ක් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු එම වාහන රාජසන්තක කිරීම සඳහා අධිකරණය මාර්ගයෙන් රේගුව බාරයට පත් කර ඇතැයිද දැනුම් දුන්හ.

එලෙස අත්පත් කරගත් වාහන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගට අනුව මෙම සැකකරුවන්ටට එරෙහිව නඩු පැවරූ බව පවසු නිලධාරීහු ඔවුන්ට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නොතිසි නිකුත් කරන්නැයයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ ඉල්ලීම පිළිගනිමින් සැකකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නොතිසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

 



Recommended Articles