මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට


සහල් මිල ඉහළ දැමීමත් සමග ඊයේ(10දා)  දිනයේදී බොහෝ ප්‍ර දේශවලට විශාල ලෙස සහල් තොග ලැබුණු බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

මේ අනුව පෙරේදා රාත්‍රියේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලට අනුව ඊයේ සහල් අලෙවි කිරීමට  කටයුතු කළ බවද එම පිරිස් පෙන්වා දෙති.

සහල් මිල ඉහළ දැමීමත් සමග පසුගිය දිනවල ඇතැම්  ප්‍රදේශවල පැවැති සහල් හිඟය අවසන් වී තිබෙන අතර ඇතැම් වෙළෙඳුන් විසින් එක් පාරිභෝගිකයෙකුට සහල් ලබා දීමේදී සහල් කිලෝ 03 ක් හෝ 05ක් වශයෙන් සීමා කර ලබා දීමත් ඊයේ දිනය වන විට අවසන් වී ඇත.

මේ අනුව නව සහල් මිලට අනුව තමන්ට අවශ්‍ය තරම්  සහල් මිලදී ගැනිමේ අවස්ථාව ජනතාවට හිමි ව තිබේ.  ආනයනික සහල් මේ සතියෙහි පැමිණීමත් සමග යම් ප්‍රදේශයක තවදුරටත් සහල් හිඟයක් පවතිනවා නම් එයද අවසන් වන බව ව්‍යපාරිකයෝ පෙන්වා දෙති.

මේ මස 07 වැනි දා නිෂ්පාදිත දිනය සඳහන් නාඩු හා සම්බා සහල් කිලෝ 05 බෑග්වල සඳහන් මිලට වඩා රුපියල් පනහක් වැඩියෙන් ඇතැම් ව්‍යපාරිකයන් ඊයේ අයකර ගත් බව පාරිභෝගිකයෝ සඳහන් කරති.

2022 නිකුත් කළ සහල් පාලන මිලට අනුව නාඩු සහල් කිලෝ 05 බෑගයක රුපියල් 1100 ක මුදලක් සඳහන් කර තිබූ බවත්, එම මිල සඳහන් බෑග් ඊයේ දිනයේදී අලෙවි කරනු ලැබුවේ රුපියල් 1150 ක මුදලකට බවත් එම පිරිස් පෙන්වා දෙති.

පෙර පැවති මිලට අනුව නාඩු සහල් කිලෝවක පාලන මිල රුපියල්220 ක් බවත්, මේ අනුව කිලෝ 05 ක මිල රුපියල් 1100 ක් බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.

නව මිල අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230 ක් වන හෙයින් කිලෝ 05 ක් රුපියල් 1150 ක් වුවද නව පාලන මිල ගැසට් කිරීමට දින 03 කට පෙර නිෂ්පාදනය කර තිබූ සහල් කිලෝ 05 බෑග් පවා නව  මිලට අලෙවි කළ බවත් පෙන්වා දෙති.

සම්බා සහල් කිලෝ 05 ක පෙර පැවති මිල අනුව කිලෝ 5ක බෑගයක් රුපියල් 1150 ක් බවත්, නව මිල අනුව  රුපියල් 1200 ක් බවත්, පසුගිය 07 වැනි දින නිෂ්‍පාදිත දිනය සඳහන් සහල් බෑගයක් ඊයේ රුපියල් 1200 කට අලෙවි කළ බවත් සඳහන් කරති. 

මේ පිළිබඳව ඇතැම් පරිභෝගික ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට පැමිණිලි කළ බවද එම පිරිස් පෙන්වා දෙති. 

 



Recommended Articles