මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ තරුණයින් ලක්ෂයක් බලහත්කාරයෙන් රඳවාගෙන


මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 06/15 දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ  මියන්මාරයේ සහ තායිලන්තයේ සංචාරයක් නිම කර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියදීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරක බාලසූරිය අමාත්‍යවරයා " අපිට යම්කිසි විශ්වාසයක් තියෙනවා , මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 49 දෙනා අතුරින් කීප දෙනෙකු ඉදිරියේ දී මුදා ගැනීමට හැකි වේ යැයි " ද පැවසීය .

අමාත්‍යවරයා මියන්මාරයේ සංචාරයට අමතරව තායිලන්තයේ ද සංචාරයක නිරත වෙමින් එම රටවල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් , විදේශ කටයුතු අමාත්‍යවරුන් , අධිකරණ සහ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ද හමු වී සාකච්ඡා කළ අතර එහිදී මියන්මාරයේ මෙම  සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටින බවත් ඔවුන් අතරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් බවත් තමන්ට අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පැවසීය .

අමාත්‍ය තාරක බාලසූරිය මහතා 06/15 දින පස්වරු 03.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .

 



Recommended Articles