මිනුවන්ගොඩින් පසුගිය දින කීපය තුළ කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි


ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ල බිහි කරමින් බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් පසුගිය දින කීපය තුළ කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

 මෙසේ වීමට රජය විසින් ප්‍රදේශය පුරා නීරෝධායන ඇදිරි නීතිය පැනවීමත් , ප්‍රදේශවාසීන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් හේතු වී ඇති බව ද හෙතෙම පැවසීය .

කෙසේ වෙතත් 10/29 දින වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 112 දෙනෙකු හමු වී ඇති අතර , එයින් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 52 දෙනෙකු ද , සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් 30 දෙනෙකු ද , මහර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් 22 දෙනෙකු ද වශයෙන් හමු වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

 දැනට මේ ආකාරයට ගම්පහ දිස්ත්‍රික්කය තුළින් හමුවන කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවුලපිටිය , රදාවාන, දොම්පේ සහ මිනුවන්ගොඩ රෝහල් ක්‍රියාත්මකව පවතින අතර , ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යක්කල සහ අත්තනගල්ල යන ප්‍රදේශ වල තවත් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීම සිදු කරන බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් 10/29 වැනි දින හමු වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් 30 දෙනා අතරින් වැඩි පිරිසක් ප්‍රදේශයේ ධිවර කාර්මිකයන් සහ මසුන් අලෙවි කරන්නන් බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles