මැදපෙරදිග හා එංගලන්තයේ සිට ලාංකිකයන් 722ක් දිවයිනට


මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් රාජ්‍ය වල සහ යුරෝපයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 722 දෙනෙකු ඊයේ (01දා) සහ අද (02දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

එම පිරිස අතරින් 667 දෙනෙකුම පැමිණ සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටය. ඔවුන් එරට රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

ඉකුත් 8/01 දින අලුයම 12.00 ට ඩුබායි සිට  පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන්  ශ්‍රී ලාංකිකයන් 335 දෙනෙකු ද , 8/02 දින අලුයම 1.15 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඊට අමතරව එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු රැගෙන , එරට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට 8/01 දින අලුයම 4.15 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම 8/01 දින අලුයම 1.30 ට කටාර් රාජ්‍යයේ වෙළෙඳ නැව් වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් දෝහා සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

එසේම 8/02 දින අලුයම 1.15 ට කටාර් රාජ්‍යයේ සිට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති වල සේවය කිරීම සදහා චීන ජාතිකයන් 29 දෙනෙකු රැගෙන 7/31 දින රාත්‍රී 6.30 චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කීරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

 



Recommended Articles