මැතිවරණවලින් කවුරු රට හා ආණ්ඩුව භාරගත්තත් මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරාගත යුතුයි


ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලින් කවුරුන් රට සහ ආණ්ඩුව භාරගත්තද මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරාගත යුතු බවත් ඒ සඳහා ඒ සම්බන්ධයෙන් වන වාර්තාව පදනම් කරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙනුවට ඊයේ (04දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම වාර්තාවේ ඉල්ලුම පාලනය කිරීම, සැපයුම පාලනය කිරීම, නිවාරණය කිරීම, පුනරුත්ථාපනය කරන්නේ කෙසේද යන නිර්දේශ මෙන්ම ප්‍රතිකාර කිරීමේ විද්‍යාත්මක නිර්දේශය ඇතුළත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

අද අපේ රට හමුවේ, ජාතිය හමුවේ තිබෙන ප්‍රධානතම උවදුර නැතිනම් අභියෝගය තමයි මේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය. අපේ රටේ මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන නොවන්නට මේ තත්ත්වය බොහෝ සෙයින් බරපතළ වෙලා තිබෙනවා. අද හරියට තොරතුරු නැතත් පාසල් පද්ධතියේ විශාල ළමුන් පිරිසක් අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා තිබෙනවා. නගරය මෙන්ම ගමත්, කාන්තා, පිරිමි, බාල, මහලු, වැඩිහිටි කවුරුත් භේදයකින් තොරව මේ මත්ද්‍රව්‍ය උවදුරට මුහුණ දී සිටිනවා.

මම ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරණය පැවැත්වෙන සමය. මේ රට කවුරු භාර ගත්තත්, මොන ආණ්ඩුව බලයට පත් වුණත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මේ රට ගලවන්න ඕනි. ඒ ගැලවීමට කවුරු හරි කටයුතු කරනවා නම් මේ පාර්ලිමේන්තුව මේ වාර්තාව හරහා සකස් කරලා තියෙනවා, කරන්න ඕනි නීති ප්‍රතිසංස්කරණ මොනවාද, පරිපාලනමය ප්‍රතිසංස්කරණ මොනවාද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවාද, මාධ්‍ය ආචාරධර්ම මොනවාද, සමාජ මාධ්‍ය පාලනය වෙන්න ඕනි කොහොමද කියලා.

ඉල්ලුම පාලනය කරන්නේ කොහොමද කියන එක සඳහා නිර්දේශ, සැපයුම පාලනය කරන්න ඕනි කොහොමද කියන නිර්දේශ , නිවාරණය කරන්න ඕනි කොහොමද කියන නිර්දේශ, පුනරුත්තාපන්නය කරන්න ඕනි කොහොමද කියන නිර්දේශ, ප්‍රතිකාර කරන්න ඕනි කොහොමද කියන විද්‍යාත්මක නිර්දේශ තියෙනවා. ඒ වගේම වෙන්න ඕනි නීතිමය, සමාජමය, පරිපාලනමය, මාධ්‍යමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ තියෙනවා. මේ වාර්තාව රට භාරගන්න කවර ජනාධිපතිවරයෙක් වුවත්, කවර ආණ්ඩුවක් වුණත් මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරලා මේ රට මතින් නිදහස් රටක්, මතින් නිදහස් සමාජයක්, මතින් නිදහස් පවුලක්, මතින් නිදහස් පුද්ගලයෙක් තනන්න අවශ්‍ය පියවර ගන්න.”



Recommended Articles