මැතිවරණ රාජකාරියට පොලීසියේ 63000ක්


මැතිවරණ රාජකාරි සඳහා  පොලිස් නිලධාරීන් 63000කට අධික ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්  2500ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් 12000ක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 449ක් ලැබී තිබෙන බවත්, මේ වන විට පුද්ගලයන්  108ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ඡන්ද මධ්‍යස්ථාවල ආරක්ෂාව ඇතුළු මැතිවරණ කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත්, ජංගම මුර සංචාර 3083ක් සිදුකිරීමට  කටයුතු කරන බවත්, මෙය සුළු වශයෙන් වෙනස් විය හැකි බවත්, මේ  සඳහා පොලිස් නිලධාරීන් 12400කට අධික ප්‍රමාණයක් අනුයුක්ත කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මැතිවරණ දිනයේදී හා මැතිවරණ දිනයෙන් පසුව මාර්ග බාධක යොදවන බවත්, මේ සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂකාර්ය බළකා නිලධාරීන් යොදවන බවත්, කැරලි මර්දන කණ්ඩායම් ස්ථාපිත කර තිබෙන බවත් පවසා සිටියේය.

දැනට විදුලි බලාගාර ඇතුළු පොදු ස්ථානවල  රාජකාරි සිදුකරන  පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබෙන බවත්,  එම ස්ථානවලට යුද හමුදා  නිලධාරීන් යෙදවා තිබෙන බවත්, මේ සඳහා නිලධාරීන් 3000කට අධික පිරිසක් රාජකාරියේ යොදවා සිටින බවත් සඳහන් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව පිහිටා තිබෙන පරිශ්‍රයට විශේෂ ආක්ෂාවක් ලබා දී තිබෙන බවත්, දිවයිනම ආවරණය වන පරිදි ජංගම මුර සංචාර සිදුකරන බවත්, මේ සඳහා වාහන 4600ක් යොදා ගන්නා බවත් හෙතෙම පැවසීය.

ඊයේ රාත්‍රි 12.00න් පසු මැතිවණ ප්‍රචාරක  කටයුතු අවසන් බවත්,   නීතිය පවත්වාගෙන යා හැකි කාර්යාල පමණක් පවත්වාගෙන යා හැකි බවත්, අනෙකුත් කාර්යාල ඉවත් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ජාල පවත්වගෙන යන නියෝජිතයන් සමග සාකච්ඡා කර තිබෙන බවත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කටයුතු කල හොත්  පොලීසිය ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.

සමාජ මාධ්‍ය ජාලා හරහා ලැබෙන නොදන්නා  පණ්විඩ බෙදා හැරීම් සිදුනොකරන ලෙසත් මේ පිළිබඳව පොලීසිය සොයා බැලීම් සිදුකර තිබෙන බවත් පැවසීය.

ඡන්ද පැවැත්වෙන දින ඡන්ද මධ්‍යස්ථාන අවට කණ්ඩායම් වශයෙන් රැස් වීමේ අවස්ථාවක් නොමැති බවත් ,මේ ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

මත් පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථාවලට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බවත්,  පිහිතල වැනි ආයුධ රැගෙන පැමිණිය හොත් අත්අඩංගුවට ගැනීමට පවා සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.

 



Recommended Articles