මැතිවරණ නීති කඩවිම් අඩුවීම ජනතාවගේ යහපත් ප්‍රවණතාවක්


නිල නොවන වැඩි බලතල සහිත තත්ත්වයක් මැතිවරණ කොමිසමට මේ කාලසීමාවේදී හිමිවී තිබෙන බවත් මේ ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති  කඩවීම් මීට පෙර මැතිවරණවලට වඩා අඩු තත්ත්වයක් ඇතිවී ජනතාව තුළ යහපත් ප්‍රවණතාවයක් ඇතිවී තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිිත් චින්තක කරුණාරත්න මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී  ඊයේ (7) පැවති "මාධ්‍ය  උපමාණ හා මැතිවරණ වියදම් නියාමනය" පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ කරුණු අනාවරණය කළේය.

කාලයක් තිස්සේ ලංකාවේ පැවති මැතිවරණවලදී පහරදීම්, මිනීමැරුම්,නිවාස මෙන්ම මැතිවරණ කාර්යාල ගිනි තැබීම්,කැන්වසින් යාමේදී පිරිස් අතර ගුටි බැට හුවමාරු වීම් ආදී සිවිල් සහ  ප්‍රබල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් මේ වනවිට නොමැති තරම්ම වීම ජනතාව  ඉදිරියට ගොස් යහපත්  ප්‍රවණතාවයක් ඇතිකරගෙන ඇති බවද දිනිත් චින්තක මහතා කීය.

ඉදිරියේදී මැතිවරණ පෝලිමක් පැමිණෙන බවත් එබැවින් මාධ්‍යවේදීන් මාධ්‍ය උපමාණ හා අනෙකුත් මැතිවරණ නීති පිළිබඳව දැනුවත් වී තිබීම වඩා යහපත් බවද මෙහිදී ඒ මහතා  පැවසීය.

මැතිවරණ කොමිසමට 19 වන සංශෝධනය අනුව අසීමිත බලතල හිමි වී තිබෙන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයක් වුවත් ඉතා ස්වාධීන ආයතනයක් ලෙස මැතිවරණ කොමිසමේ උපමාණ හා කොන්දේසි වලට අනුව ඉතා විශිෂ්ට සේවාවක් සපයන බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.

මෙහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කළ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ චන්න පී ද සිල්වා මහතා සඳහන් කළේ සමහර මැතිවරණ නීති වලදී මාධ්‍යවේදීන්ද කුඩා දරුවන් මෙන් කටයුතු කරන අවස්ථා තිබෙන බවයි.එයට හොඳම උදාහරණය පසුගිය රාජ්‍ය සේවක තැපැල් ඡන්ද සටහන් කිරීම වීඩියෝ කිරීම තහනම් වුවත් එය වීඩියෝ ගතකර මාධ්‍ය මගින් පවා ඉදිරිපත් කර තිබීම බව පැවසීය.

මීට පෙර විධාන හා උපමාණ අනුව මැතිවරණ නීතිය රාජ්‍ය මාධ්‍යවලට පමණක් සීමා වූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් මේ වනවිට එම තත්ත්වය පුද්ගලික මාධ්‍ය ආයතන වලටද බලපාන බව අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

විධාන හා උපමාන පැනවීමේ බලය තුල කටයුතු නොකළ යුතු දේ ගැසට් කිරීම මගින්, පුවත් මගින්, දැනුවත් කිරීම් මගින් සිදුකර ඇති බවද මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම තුළින් ඉතා ඵලදායී පණිවිඩයක් සමාජයට ලබාදිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් උපමාණ නොව විධාන  අනිවාර්යයෙන් රජයේ මාධ්‍ය සඳහා බලපාන බව  චන්න පී ද සිල්වා මහතා කීය.එයට හේතු වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතන රජයේ වැටුප් ලබන ආයතනයක් බැවින් බවද අනාවරණය කළේය.

මැතිවරණ නීති,මාධ්‍ය උපමාණ හා මැතිවරණ නියාමනය පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම  අදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය  කාර්යභාරය පිළිබඳව අවබෝධය වැඩිදියුණු කිරීම,මැතිවරණය වාර්තාකරණයේදී ඇතිවිය හැකි අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දීමට විසඳුම් ඉදිරිපත් කිරීම යනාදිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.දීර්ඝ දැනුවත් කිරීමට අමතරව මුද්‍රණය කරන ලද අදාල නීති පිළිබඳව අත් පිටපත්ද  මාධ්‍යවේදීන් සියලු දෙනා වෙත ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

මේ අවස්ථාවේදී අනුරාධපුර මහ දිසාපති  කේ .ජී.ආර් විමලසූරිය මහතාද අදහස් දැක්වූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන්  බණ්ඩාර මහතා සභාව මෙහෙයවනු ලැබීය.මේ අවස්ථාවට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහූද එක්වූහ.



Recommended Articles