මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීමට පෙර සිතා බලන්න


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව අඩු කිරීමට පෙර රජය දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැනි නායකයින්ගේ ආරක්ෂාව ගැන රජය දැනට වඩා අවධානය යොමු කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරැද්ධ මහතා පැවසීය. 

ඒ මහතා එසේ පැවසුවේ ( 20 වැනිදා ) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බියගම ආසනයේ ප්‍රධාන මැතිවරණ  මෙහෙයුම් කාර්යාලය මාකොළ ප්‍රදේශයේ විවෘත කිරීම නිමිත්තෙන් පැවති ජනහමුවකදීය. 

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අජිත් කුමාර මහතාගේ මුලිකත්වයෙන් මෙය විවෘත කෙරිණි. මෙහිදී තවදුරටත් කතා කළ හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරැද්ධ මහතා මෙසේ ද  කීය. 

"පුරා වසර තිහක් තිස්සේ මේ රටේ පැවතුනු එල් ටී ටී ඊ කුරිරු යුද්ධය නිමාවට පත් කෙළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතියි. නමුත් වත්මන් රජය මගින් මේ වනවිට එතුමාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයින් මෙන්ම ආරක්ෂක රථ ඉවත් කර දැමීමට පියවර ගෙන තිබෙනවා.  ඒ හේතුවෙන් අද එතුමාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙමින් පවතිනවා. 

අද කලාපීය තර්ජනයන් එල්ල වෙමින් පවතිනවා. මෙරටින් එල් ටී ටී ඊ සංවිධානය තුරන්වී ගියාට ලෝකයෙන්ම එම සංවිධානය තවම තුරන් වෙලා නැහැ. . ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට එල් ටී ටී ඊ සංවිධානයෙන් එල්ල වන තර්ජන තවම පහවී ගිහින් නැහැ. මේ බව අප කවුරුත් වටහා ගන්නට ඕනැ. එබැවින් එතුමාගේ ආරක්ෂාව අඩු කිරීමට පෙර එය දෙවරක් සිතා බැලිය යුතුයි. 

ජාතික ජන බලවේගය වසර ගණනාවක්ම කතා කෙළේ රටේ සංවර්ධන වැඩ පිළිවෙලේ අඩුපාඩු ගැනයි.  එදා එම වවේචනය කළ උදවිය දැන් රටේ වගකීම භාර ගෙන තිබෙනවා. නමුත් මේ උදවිය බලය ලබා ගැනීමට ජනතාව හමුවේ තැබු පොරොන්දු කිසිවක් ඉටු කීරීමට නොහැකිව දැන් ඔවුන් ලතවෙනවා .ඒ නිසා ඔවුන්ට ජන්දය  දුන් අය දෑන් අපි ගම්වලට යනවිට කර කියා ගැනීමට නොහැකිව ඔවුන් අහක බලා ගන්නවා. 

මෙවර ජනාධිපතිවරණයෙන් පොදු ජන පෙරමුණ හතරට වැටුනා කියලා ඇතැමුන් කියනවා. ජන්ද පදනමට වෙච්ච දෙයක් නැහැ කියනවා. ඒවාට උත්තර අපි ඉදිරියේදී ලබා දෙනවා. අනුර ජනාධිපති ළඟ ෆයිල් තියෙනවා කියනවා. එහෙම කියන අනුර දැන් අපෙන් තොරතුරු ඉල්ලනවා. මේවා විහිලු කතා පමණයි. මේ මැතිවරණයේදී පොදු ජන පෙරමුණ ගැන විශ්වාසය තබා කටයුතු කරන ලෙසට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."



Recommended Articles