මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ රු. කෝටි 10 ක දේපළ තහනමක්


අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත  මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනී ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත්  රුපියල් කෝටි 10 කට ආසන්න දේපල  මුදල් විශුද්ධ කිරීමේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.

එම ජාවාරම්කරු ප්‍රබල මත් ජාවාරම්කාරියක් වන කුඩු සෙල්විගේ පුත්‍රයෙකි. තහනම් කළ දේපර අතර ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට පලායාම සඳහා සූදානම් කර තිබූ බෝට්ටුව සහ එන්ජිම ද වන බව පොලිසිය සඳහන් කරයි.

එම සංවිධානාත්මක අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් විශාල දේපලක් උපයාගෙන ඇති බවට ලද තොරතුරු  අනුව  සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව එම දේපළ තහනම සිදුකර ඇත.

 එම අපරාධකරු 2013 වසරේදී    වත්තල හැඳල බලගල පාරේ ඉඩමක් මිලදීගෙන 2018 වසරේ ඉදිකර තිබූ සුඛෝභෝගී දෙමහල් නිවස , 2022 වසරේදී  මිලදී ගෙන තිබූ රුපියල් ලක්ෂ 90/= පමණ වටිනා සුඛෝ භෝගී මෝටර්රථයක්, රුපියල් ලක්ෂ 70  ක රන්බාන්ඩ  මෙන්ම ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායාම සඳහා රුපියල් ලක්ෂ 5/= ක මුදලක් වැය කර හලාවත පුද්ගලයෙකුගෙන් මිලදීගෙන තිබූ  බෝට්ටුව සහ එන්ජිමද තහනම් කල දේපල අතර වන බව පොලිසිය සඳහන් කරයි

ඉකුත්  ජූලි මස 8 වෙනි දින  ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පැටි අරඹගේ අජිත් රෝහණ නැමැති  හිටපු හමුදා සෙබලාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය පනත ප්‍රකාරව රැඳවුම් නියෝගමත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන  සිදුකළ බව පොලිසියය කියයි.

මේ අනුව ක්ලබ් වසන්ත ඝාතනය විදේශගතව සිට මෙහෙයවා ඇත්තේ මොහොමඩ් ඉම්රාන්  නොහොත් කන්ජිපාණී ඉම්රාන් , ලන්දුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටි , පළනි ශිරාන් ක්ලෝරියන් හා පළනි රිමෝශන් යන්න සිව් දෙනා බවට අනාවරණය විය.

පලනි ශිරාන් ක්ලෝරියන් නැමැත්තා මත්ද්‍රව්‍ය  චෝදනාවකට මේ වන විට ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් හා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ හා ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයේ  නිලධාරී කණ්ඩායමක්  මුදල් විශුද්ධ කරන පනත යටතේ විමර්ශන ආරම්භ කර එම විමර්ශන අනුව පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තා විසින් මිලදී ගෙන තිබූ  අනාවරණය කරගත් බව  පොලිසිය කියයි.

ඒ අනුව එම කොට්ඨාස වලට අනුයුක්ත නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග  වත්තල හැඳල  බලගල පාරේ නිවස වෙත ගොස්  අදාළ දේපල තහනම ක්‍රියාත්මක කළ බව පොලිස් නිලධාරියකුු පැවසීය.

ඊට අමතරව  අතුරුගිරිය ටැටු කලාගාරයේ තුළ සිදුවූ  අපරාධයෙන් අනතුරුව වෙඩික්කරුවන්ට පලායාම සඳහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ෆලනී ක්ලෝරියන්  නමැත්තා ඔහුගේ නැගණිය වන පලනී කෞශල්‍යා හා මස්සිනා වෙත  රුපියල් ලක්‍ෂ 5 මුදලක් ලබා දි හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙක් ගෙන් මිලදීගෙන  සූදානම් කර තිබූ බෝට්ටුව ද  හලාවත වට්ටක්කුලිය  කවටයාවත්ත  කලපුවක සඟවා තිබීයදි විමර්ශන නිලධාරීන් සහ වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී  සොයාගත් පොලිසිය  එයද තහනමට ලක් කළේය.

 ඊට අමතරව ෆලනී කෞශල්‍යා නමින් හලාවත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක උගස් හා සේප්පු ගත කරන ලද රුපියල් ලක්ෂ 70 කට ආසන්න රන් භාණ්ඩ තොගයකටද කියා විරහිත කිරීමේ නියෝග ක්‍රියාත්මක කළ බව විමර්ශන නිලධාරියකු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles