මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය විවෘත කිරීමට මැකො හරස්වෙයි


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ  මහව සිට අනුරාධපුර දක්වා  නවීකරණය කරමින් පවතින මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය තවමත් අනාරක්ෂිත තත්ත්වයේ තිබියදී ඊයේ (12 දා) එම මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව, දුම්රිය ධාවනය නතර කෙරුණු බවත්, පසුව එම ව්‍යාපෘතිය නාමිකව පමණක් භාර දීම ඊයේ (12 දා) අමාත්‍යාංශයේදී සිදු කෙරුණු බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.


ඊයේ (12දා) වන විටත් නිසි පරිදි සංඥා ක්‍රමවේදයක් ස්ථාපිත කර නොතිබූ බවත්, අනතුරුදායක ප්‍රධාන දුම්රිය හරස් මාර්ග බොහෝමයක සංඥා ගේට්ටු පවා සවිකර නොතිබූ බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා “අද” කළ විමසීමකදී පැවසීය.වනඅලින්ට දුම්රිය මාර්ගය අසලින් මාරු වීමට අඹන්පොළ ප්‍රදේශයේ ඉදිවන දුම්රිය උමං මාර්ගය සහ තඹුත්තේගම දුම්රිය ස්ථානය හැරුණු විට, එම මාර්ගයේ අනෙකුත් සියලු දුම්රිය ස්ථානවල ඉදිකිරීම් කටයුතු මේ දක්වා අවසන් නොමැති බවද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

අනුරාධපුර සිට මහව දක්වා මුළු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු කොටස් වශයෙන් එකම දිනයකදී ආරම්භ කළත්, තඹුත්තේගම හැර අනිත් දුම්රිය ස්ථානවල වැඩ නිම කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්ද, සේවකයන්ට ගෙවා ඇති මුදල් සම්බන්ධයෙන්ද විගණනයක් සිදු කළ යුතු බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිපියක් මාර්ගයෙන් දැනුම් දුන් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා මංගල දුම්රිය ගමනක් සංවිධානය කර තිබුණත් පෙරේදා (11 දා) පස්වරුව වන විට එම වැඩසටහන නතර කළ බවද දුම්රිය ප්‍රකාශකයෙක් මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, 2024 සැප්තැම්බර් 12දා, මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොතිබූ බවයි.මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම කටයුත්ත මේ දක්වා පමා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

‘2024 ජනවාරි මාසයේදී ආරම්භ කෙරුණු මෙම දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා 2024 ජුනි මාසයේදී (පොසොන් පොහොයට පෙර) කටයුතු යොදා තිබුණත්, තාක්ෂණික හා මූල්‍ය ගැටලු නිසා මෙම මාර්ගය ඉදිකිරීම් කටයුතු සැලසුම් කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වී තිබේ.මෙසේ තිබියදී දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලිපියක් ඉදිරිපත් කරමින් මැතිවරණ සමයක අසත්‍යය ප්‍රචාර සිදු කර, මහජනතාව අතර කැළඹීමක් ඇති කිරීම සඳහා කටයුතු කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවකාශ තිබෙන බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



Recommended Articles