මහපොළ අරමුදලින් ස්ලිට් ඉදිකිරිම ගැන වෝහාරික විගණනයක්


මිලියන 1100 වැය කොට මහපොළ අරමුදලෙන් SLIIT ආයතන ඉදි කිරීම පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදි මේ බව පැවැසිය.

මහපොළ භාරකාර අරමුදල අවභාවිතා කොට SLIIT  ආයතනය ඉදි කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු විමසන ලදි.  මේ අනුව රු.මිලියන 1100 වැය කොට SLIIT ආයතනය ඉදි කොට ඇත්තේ මහපොළ භාරකාර අරමුදලට අයත් ඉඩමක බව  අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළ අතර පසුගිය කාල වකවානුව තුළ වෝහාරික විගණනයක් කළ බවට සඳහන් වුවද එම වාර්තා සහ තොරතුරු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැති  බව පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන්  නැවත වෝහාරික විගණනයක් සිදු කොට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවට අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.  

තවද දේශපාලන තීන්දු තීරණ මත මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 97ක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 37ක් නැවත භාරදී නොමැති බවත් ඒ පිළිබඳව ද  විමර්ශන සිදු කරමින් පවතින  බවත් අමාත්‍යවරයා පැවසීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර ලබා දීමේදී රුපියල් 2650.00 ක මුදලක් මහපොළ භාරකාර අරමුදල මගින් ද රුපියල් 2450.00 ක මුදලක්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ද  ලබා දෙන බවත් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී පැවසීය. එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා  මෙම මුදල් ලබා දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්  බවත්,  රුපියල් මිලියන 563ක පමණ මුදලක් තවමත් ලැබීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා මෙහිදී තවදුරත් පැවසීය. ඉදිරි වර්ෂ 2-3 තුළදී මහපොළ අරමුදල මගින් ප්‍රතිලාභ ලබාදීමට නම් මහා භාණ්ඩාගාරය මගින් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලැබීම අත්‍යවශ්‍ය බව මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

තවද මෙහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියේ ගෙවීමට ඇති මහපොළ ශිෂ්‍යධාර හිඟ මුදල් ඉදිරි මාස තුන ඇතුළත ගෙවීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි. එසේම අප්‍රේල් මස සිට මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව විධිමත් ලෙස ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකිරීමට ද මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව ගරු ජනාධිපතිවරයා ඉදිරි අයවැය තුළින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 



Recommended Articles