මවක දුන් විස්කි බෝතලයක් නිසා දෙදෙනෙකු දියට බිලි


අධික බීමතින් පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැසදිය කෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදහන් වී ඇති බව වත්තේගම පොලිසිය කියයි.

මෙම මිතුරන් පස් දෙනාගෙන් එක් අයකුගේ මවක් විදේශගතව සිට පැමිණ ලබාදුන් බව කියන විදේශීය මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් අනතුරුව ඔවුන් ජල ක්‍රීඩාවේ යෙදීම සඳහා එසේ ජලාශයට බැස ඇති බව පොලිසිය කියයි .

පොල්ගොල්ල ජලාශයේ සිට වික්ටෝරියා ජලාශයට ජලය මුදාහැරෙන එක් ගේට්ටුවක් අද (25) දහවල් විවෘත කොට ඇති අතර ජල පහරට හසුවූ මිතුරන් පස්දෙනාම ජලයේ ගසාගෙන යමින් සිටියදී ඉන් තිදෙනෙකු ගල්පර වල එල්ලී දිවි බේරාගෙන ඇති අතර අනෙක් දෙදෙනා පිළිබඳ තොරතුරක් අද (25) සවස් කාලය වනතුරුද හමුව නොතිබුණි .

එම තරුණයන් සියලු දෙනා යක්ගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව පවසන පොලිසිය අතුරුදහන්ව ඇති එක් තරුණයෙකු ධනංජය ඉඳුවර (22) නැමැත්තෙකු බවට හඳුනාගෙන තිබේ .

දියේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනා සෙවීම සඳහා පොලිසිය මෙහෙයුමක් දියත් කොට ඇති අතර තලාතුඔය නාවික හමුදා කඳවුරේ සහය ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ලබාගන්නා බවද පොලිසිය කියයි.



Recommended Articles