මම දේශපාලනඥයෙක් හැටියට සද්ද බද්ද නෑ


වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් හැකි පමණින් සද්ද දමමින් ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමා එවැනි දේශපාලනයක නිරත නොවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක රුවන් විජයවර්ධව මහතා පැවසීය.

එවැනි දේශපාලනය වර්තමානයේ තරුණ තරුණියන්ද ප්‍රතික්ෂේප කරන බව හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් රුවන් විජයවර්ධව මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“මම දේශපාලනඥයෙක් හැටියට සද්ද බද්ද නෑ. අවශ්‍ය විදියට සේවය කරනවා දේශපාලන වශයෙන්. වර්තමාන දේශපාලනයේ බහුතරයක් පුළුවන් තරම් සද්දෙ දාන්නේ ජනතාවගේ අවධානය ගන්න. නමුත් මගේ චරිතය මෙහෙමයි. යම්කිසි වෙනසකුත් මේ රට තුළ වෙනවා. දේශපාලන සංස්කෘතියත් ගොඩක් දුරට වෙනස් වී ගෙන එන්නේ. අද තරුණ  තරුණියන් මඩ ගසන, සද්ද බද්ද දාන, සංදර්ශන දාන දේශපාලනයට කැමැත්තක් නෑ.

විශේෂයෙන්ම තරුණ තරුණියන් බලන්නේ රට වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන් පුද්ගලයන් තමයි මේ රටට අවශ්‍ය කියන හැඟීමක් තමයි තියෙන්නේ. මම හිතන විදියට මගේ චරිතය නම් වෙනස් කරන්න අමාරුයි. බොරුවට සංදර්ශන දාන්නේ, කෑ ගහන්නේ නෑ. මම හිතනවා මගේ සේවය අගය කරන ජනතාව මම වෙනුවෙන් හොඳ තීන්දුවක් ගනියි කියලා.

මම තරුණ කාලයේ ඉඳලම දේශපාලනයට නැඹුරුවක් තිබුණා. ඒ නිසාම තමයි මගේ උසස් අධ්‍යාපනය කරන අවස්ථාවේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මම හැදෑරූ උපාධියත් තුන්වෙනි ලෝකයේ දේශපාලනය. ඒක හැදෑරුවේ දේශපාලනයට එන්න නෙවෙයි. නමුත් දේශපාලනය පිළිබඳ තිබූ නැඹුරුව තිබුණා.

ඒ උපාධිය රැගෙන ලංකාවට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මට අවස්ථාව දුන්නා එක්සත් ජාතික පක්ෂයෙන් මගේ දේශපාලන ගමන ආරම්භ කරන්න. මම ඒක හොඳ අවස්ථාවක් විදියට දැක්කේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට මම එකඟයි.  එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයට මම කැමතියි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයෙන් මම දේශපාලනය එන්න අදහස් කළා.” 



Recommended Articles