මන්ත්‍රී නිල නිවසේ ඇතිවූ ගින්න නිවා දමයි


කොළඹ 7 මළල සේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇතිවූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත  පොලිසිය කියයි.

මෙම දෙමහල් නිල නිවස මීට මාස අටකට පමණ ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පදිංචිව සිට ඇති අතර ඉන් අනතුරුව විදුලිය විසන්ධි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

දැනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුවර මහතා වෙත  වෙන්කර ඇති  රජයේ නිල නිවාසය අලුත් වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී පෙරේදා (19) විදුලි බල මණ්ඩලය මගින් විසද්ධිකර තිබූ විදුලිය නැවත ලබාදී පිටවී යාමෙන් අනතුරුව විනාඩි 30කට පමණ පසු නිවසේ උඩුමහලේ වායු සමීකරණ යන්ත්‍රයකින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එය ගිනි ගන්නා අයුරු නිවසේ පින්තාරු කටයුතු යෙදී සිටි පුද්ගලයකු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ ගිනි  නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා පාලනය කිරීමට කටයුතු කර ඇත.

ඇති වූ ගින්නෙන් වායු සමීකරණ යන්ත්‍රයේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව පොලිසිය සඳහන් කරයි



Recommended Articles