රජයේ රැකියා දෙන බව පවසා රුපියල් 350,000/-ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම සැකකරු රුපියල් ලක්ෂ 05ක ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.සැකකරු විසින් වැරැද්ද පිළිගෙන පැමිණිලිකරුවන් හට මුදල් ආපසු ගෙවා තිබීම සහ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු අවසන් වීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ ඇප නියම කළාය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ විදුලි බල මණ්ඩලයේ රැකියා ලබාදෙන බවට පවසා 2019 වසරේදී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් 200,000/-ක් සහ රුපියල් 150,000/-ක් මුදල් ඉල්ලා ලබාගනිමින් අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 26 වැනි දින අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සැකකරු එදින මහනුවර මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
අද දින බන්ධනාගාර අධිකාරිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා සිදු වූ වැරැද්ද පිළිගනිමින් පැමිණිලිකරුවන් හට ආපසු මුදල් ලබා දීමට කටයුතු කර ඇති බවය.
2022 වසරේදී එම මුදල් පැමිණිකරුවන් හට ආපසු ලබා දී ඇති බවට වන රිසිට් පත් දෙකක්ද අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුට ඇප නියම කරන ලෙසටද නීතිඥවරයා ඉල්ලා සිටියේය.
අල්ලස් කොමිස මේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලක්ෂ 5 බැගින් ශරිර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර විදේශ ගමන් තහනමක් ද නිකුත් කළාය.පැමිණිල්ල අගෝස්තු 29වෙනි දින නැවත කැඳවීමටද නියෝග කළාය.