බොන්න රු. 300ක් නොදුන්නැයි බිරිඳ ඝාතනය කළ සැමියාත් දිවි නසා ගනියි


මත්පැන් බොන්නට රුපියල් 300ක් නොදුන්නැයි බහින්බස්වී උදැල්ලෙන් පහරදී 37 හැවිරිදි බිරිය ඝාතනය කළ සැමියෙකු කජු ගසක ගෙලවැලලාගන සියදිවි හානිකරහන ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි.

ඊයේ (31දා) සන්ධ්‍යාවේ එම සිදුවීමෙන් ඝාතනය කර තිබුණේ හිටිහාමි මුදියන්සේලාගේ චාමිනී නිලක්ෂිකා සේනානායක නැමැති 37 හැවිරිදි එක්දරු මවකි.එම කාන්තාව ඝාතනය කොට සියදිවි හානිකරගන තිබුණේ මැල්ලව ආරච්චිගේ අමිල රණසිංහ නැමති 42 හැවිරිදි පරගහරුප්ප, පහළ එලතලව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

2010 දී පමණ විවාහ දිවියට ඇතුළත්ව කලක් වෙන්ව දිවිගෙවමින් සිටි මරණකරුවන් දෙපළ යළිත් එක්ව වාසය කරමින් සිටියදී මෙය සිදුවී වී ඇතැයි පොලීසිය කියයි.මේ දෙදෙනාට වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුද සිටින බව කියන පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මව ඝාතනයේ ප්‍රධාන සාක්ෂියද ඝාතක පියාගේ පුතු බවය.

සිද්ධීන් දෙක සම්බන්ධව කුලියාපිටිය මහේස්ත්‍රාත් වරයා වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා විසින් සිදු කළ අතර එහිදී නියෝග කළේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට කරුණු දක්වන ලෙසයි. ඝාතකයාගේ ගෙලවැලාගැනීම සියදිවි හානිකරගැනීමක් හේතුවෙන් ඒ පිළිබඳව පරික්ෂණය හදිසි මරණ පරීක්ෂකවරයා සිදුකිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.

කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ හා සහකාර පොලිස් අධිකාරී වසන්ත හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් අනුව කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක සුදේෂ් අමරසේන, සරින්ද පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරේ.

කුලියාපිටිය -දිනේෂ් උපේන්ද්‍ර

 



Recommended Articles