බෙංගාල බොක්කේ අඩු පිඩන කලාපයක් නිසා අද සවස වැස්ස වැඩිවෙයි


නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්, එහි බලපෑමෙන් අද (12දා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට (13දා) සිට ඉදිරි දින කිහිපයේදීත් වැසි බලාපොරොත්තු වන බවත්, අද උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 25-35 පමණ වන අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වේ.

ගිගුරුම්  සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද පෙන්වා දෙයි.

පසුගිය දිනවල දිස්ත්‍රික්ක තුනකට ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් නවදහස් එකසිය අසූවකට අයත් පුද්ගලයන් දාහත්දහස් පන්සිය පනස් එකක් පීඩාවට පත් වී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.



Recommended Articles