බුද්ධි තොරතුර රන් ජාවාරම්කරුවන් අතටම ගිහිල්ලා මුම්බායි ගුවන් තොටුපොල දෙවනත් කරයි


ඉන්දීය ගුවන් මගීන් 18 දෙනෙකු  සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි ගනනක් වටිනා රත්තරන් තොගයක් පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් දැන ගෙන ඇති බවට තොරතුරු එම මගීන්ට සැළවීමත් සමග ඔවුන් ව්‍යාජ කළබළයක් ඇති කර , කටුනායකට එන ගුවන් යානය පැය දෙකක කාළයක් ප්‍රමාද වීමට සළස්වා ගෙන , ඒ අතරතුර එම රත්තරන් තොගය වෙනත් පුද්ගලයන්ට ලබා දී , පසුව ඔවුන් කිසිවක් නොමැතිව  කටුනායක ගුවන් තොටුපොළ වෙත 06/29 දින පස්වරුවේ පැමිණ තිබුණි .

ඉන්දීය ආදායම් බුද්ධි අංශය( Department of Revenue Interligence ) විසින් මෙසේ ඉන්දීය ජාතික ගුවන් මගීන් 18 දෙනෙකු තම සිරුරු වල ගුද මාර්ග වල විශාල රත්තරන් තොගයක් සගවා ගෙන 06/29 දින පස්වරු 03.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත බුද්ධි තොරතුරක් ලබා දී තිබුණි .

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඉන්දික සිල්වා මහතා සමග තවත් රේගු නිලධාරීන් 20 දෙනෙකු මෙම ගුවන් යානය තුළටම ගොස් මොවුන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වී සිටියහ .

මෙම තොරතුර මෙම ඉන්දීය ජාතිකයන් වෙත ද දැන ගැනීමට ලැබීමෙන් පසුව ඔවුන් මෙම ගුවන් යානය මුම්බායි ගුවන් තොටුපොළෙන් පිටත් වීම ප්‍රමාද කර ගැනීම සදහා ව්‍යාජ කළබළයක් සිදු කර තිබේ .

මෙම ඉන්දීය ජාතික ජාවාරම්කරුවන් පිරිසට ඉන්දීය ජාතික  පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ එරට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත් වී සිටියහ.

 ඔවුන් රැගත් විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය 06/29 දින ඉන්දියාවේ මුම්බායි නුවරින් දහවල් 12.25 ට කටුනායක බලා පිටත් වීමට නියමිතව තිබුණ ද , මෙම ව්‍යාජ  කළබළය නිසා මෙම ගුවන් යානය පස්වරු 02.25 දක්වා ප්‍රමාද වී පිටත් වී තිබේ .

ඒ අතරතුර කාළය තුළ ඔවුන් සිය සිරුරු වල සගවා ගෙන තිබූ රත්තරන් තොගය වෙනත් පුද්ගලයන්ට ලබා දීමට සූක්ෂමව කටයුතු කර තිබුණි .

ඒ අනුව 06/29 දින පස්වරු 03.00 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණීමට නියමිතව තිබූ විස්තාරා ගුවන් යානය පස්වරු 05.00 ට පැය දෙකක ප්‍රමාද වීමකින් පසුව පැමිණ තිබුණි .

එහිදී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන්ට , එයින් බැස යාමට ඉඩ නොතබා , ගුවන් යානය වෙත ගොස් මෙම ඉන්දීය ජාතික ගුවන් මගීන් 18 දෙනා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීම් සිදු කළ ද ඔවුන් තුළින් කිසිවක් සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන්ට නොහැකි විය .



Recommended Articles