බීමත්ව කලහකාරී ලෙස හැසිරුණ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්


මත්පැන් පානය කර තනිකඩ බට නිවාසය තුළදී පාලනය කරගත නොහැකි තරමට  කලාහකාරි ලෙස හැසුරුනු  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට  පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේය.

වැඩ තහනමට ලක් වූ කොස්තාපල්වරුන් දෙදෙනා ඊයේ (4) මධ්‍යම රාත්‍රියේදී තනිකඩ බට නිවාසය තුළදී බහින් බස් වීමක් සිදුකරගෙන ඇති අතර රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එය පරික්ෂා කිරීමේදී ඔහුටද එම තත්ත්වයේ පාලනය කරගත නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව කොස්තාපල්වරුන් දෙදෙනා පානදුර මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර ප්‍රශ්වාසයේ මධ්‍යසාර ගඳ ඇති බවට සඳහන් කර වෛද්‍ය වාර්තාව ලබාදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඉහත  විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා විසින් කොස්තාපල්වරුන්  දෙදෙනාගේ රාජකාරී වැඩ තහනමට ලක්කර ඇත.

බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ/පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles