බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු ත්‍යාග මුදල් කිසිවක් 2023දී ගෙවා නෑ


බීමත් රියදුරන් අත් අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත් අඩංගුවට ගැනීමක් වෙනුවෙන් රුපියල් 2,500 ක ත්‍යාග මුදලක් පොලිස් ත්‍යාග අරමුදල විසින් ගෙවිය යුතු වුවත් 2023 වර්ෂයේදී එම ත්‍යාග මුදල් කිසිවක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් 2023 වර්ෂයට අදාළව කරන ලද විගණන පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

අහඹු ලෙස පොලිස් ස්ථාන 18 ක් යොදා ගෙන සිදු කරන ලද මෙම පරීක්ෂණයේදී එම පොලිස් ස්ථාන 18 මගින් 2023 වර්ෂයේදී බීමත් රියදුරන් 5449 ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත්, ඒ අනුව පොලිස් ත්‍යාග අරමුදල ඔවුන්ට නොගෙවන ලද මුදල රුපියල් 13,622,500ක් බවත් අදාළ විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව 2023.12.31 දක්වා පොලිස් ත්‍යාග අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය මගින් සිදු කරන ලද විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් ස්ථාන සංඛ්‍යාව 607 ක් බවත්, මේ අනුව 2023 වර්ෂයේදී මෙම පොලිස් ස්ථාන 607 න්ම අත් අඩංගුවට ගන්නා ලද බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව ලක්ෂ 1 ½ කට අධික විය හැකි බවත් පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ අනුව බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමෙන් පමණක් පොලිස් නිලධාරීන්ට අහිමි වි ඇති ත්‍යාග මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 450 ක් පමණ වන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

පොලිස් රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ රථවාහන උපදෙස් චක්‍රලේඛ අංක 149/2019 අනුව පොදු මගී ප්‍රවාහනයේ නොවන එක් බීමත් රියදුරෙකු අත් අඩංගුවට ගැනීමක් වෙනුවෙන් රුපියල් 2,500ක ගෙවිය හැකි බවට උපදෙස් ලබා දී ඇති බවද විගණන පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. නියැදි පරීක්ෂණයට යොදා ගත් පොලිස් ස්ථාන 18 න් මෙම ත්‍යාග මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීමටද ජාතික විගණන කාර්යාලය කටයුතු කර තිබේ.

එයින් පොලිස් ස්ථාන 13 ක් පිළිතුරු ලබා දෙමින් ඉදිරියේදී මෙම අතපසු වීම නිවැරදි කර ගන්නා බව ප්‍රකාශ කර තිබෙන බවත්, ඉතිරි පොලිස් ස්ථාන 05 පිළිතුරු ලබා දීමටද කටයුතු කර නොමැති බවත් අදාළ විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

තමිදු මධුසර ලියනගේ  -  අහුන්ගල්ල

 



Recommended Articles