බිත්තර තොග මිල රු.20 දක්වා පහතට


සාමාන්‍ය මට්ටමේ බිත්තරයක තොග මිල ඊයේ (23දා) රුපියල් 20 ක් දක්වා පහත වැටී තිබුණද බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 28 -30  අතර මට්ටමේ පවතින බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

වසර දෙකකට පසු බිත්තරයක තොග මිල රුපියල් 20 දක්වා පහත වැටී තිබෙන බවත්, ජනතාවට සහන ලබා දීමට නම් ගොවිපොළ හිමියන්ටද සහන දීම අවශ්‍ය බවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

මව් සතුන්ගේ මිල, සත්ත්ව ආහාර මිල හා සත්ත්ව ඖෂධ මිල ඉහළ මට්ටමක පවතින නිසා බිත්තර ගොවිපළ කර්මාන්තය අර්බුදයකට ලක්වන බවත් ඔහු කියා සිටියේය. මේ නිසා  සත්ත්ව ආහාර හා ඖෂධ මත යොදා තිබෙන බදු ඉවත්  කර සහන මිලට මව් සතුන් ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවසීය.

මෝල්වලින් සත්ත්ව ආහාර වශයෙන් නිකුත් කළ කැඩුණු සහල් කිලෝවක මිල රුපියල් 180 සිට රුපියල් 230 දක්වා ඉහළ දමා තිබෙන නිසා කැඩුණු සහල්, බිත්තර ගොවිපළ කර්මාන්තයට යොදා ගැනීමට නොහැකි වී තිබෙන බවද  ඔහු සඳහන් කළේය.

මේ නිසා බිත්තර කුඩා වී තිබෙන බවත්,  සාමාන්‍ය තත්ත්වයේ බිත්තරයක බර මේ වන විට ග්‍රෑම් 20 -25  දක්වා අඩු වී තිබෙන බවත් නිරුක්ෂ කුමාර මහතා පැවසීය.දෛනික බිත්තර අවශ්‍යතාව බිත්තර ලක්ෂ අසූවක් බවත්, මේ වන විට එම අගය ඉක්මවා බිත්තර වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන නිසා බිත්තරයක සිල්ලර මිල පවා රුපියල් 25 ක් දක්වා පහත වැටී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

 බිත්තර මිල අඩු වීම පාරිභෝගික ජනතාවට වාසි දායක වුවත් අමුද්‍රව්‍ය මිල ඉහළ අගයක් ගන්නා නිසා බිත්තර මිල අඩු වෙයි. ගොවිපළ හිමියන්ට මෙය දැඩිව බලපාන නිසා බදු ඉවත් කර ගොවිපළ හිමියන්ට සහන ලබා දිය යුතු බවද හෙතෙම පැවසීය.



Recommended Articles