බැංකු පොලිය සියයට 9ක් දක්වා ලබන මසදී අඩුවෙනවා


ඉදිරි මසක පමණ කාලය තුළ බැංකු පොලිය සියයට 9  දක්වා අඩුවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 

එසේම පවතින තත්ත්වයට භාණ්ඩ මිල, ජීවන වියදම අඩු කරගත හැකි වූයේ ඩොලරය ඉහළ යාමට නොදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරීමෙන් බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී අද (04දා) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“භාණ්ඩ මිල ජීවන වියදම අඩු කරගන්න හැකි වුණේ ඩොලරය ඉහළ යන්න නොදී ශ්‍රී ලංකා රුපියලට ශක්තිමත් කිරීමෙනුයි.පහුගිය කාලයේ අපේ ආදායම් වැඩි කරන වැඩපිළිවෙළවලට අපි යොමු වුණා. විදුලිය කපා හැරීම, බැංකු පොලිය වැඩි කිරීම, වගේ දේ නිසා වැටුප් ගෙවා සේවකයෝ නඩත්තු කර ගැනීමට නොහැකිව,අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව, අපි පැනවූ ආර්ථික සම්බාධක තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයො අසූ දහසක් පමණ අසරණ වෙලා හිටියා.

ඒ සඳහා පියවර වශයෙන් සියයට30 කට ආසන්න වූ බැංකු පොලිය සියයට 11 දක්වා අඩු කළා. තව මාසයක් පමණ යනකොට එය සියයට 9 දක්වා අඩුවෙනවා. අමුද්‍රව්‍ය සඳහා තිබුණු සියලු සම්බාධක ඉවත් කරලා අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් ලබා දුන්නා.  සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර නැවත ශක්තිමත් කළා.

ඒ හරහා ආර්ථිකයට දායකත්වය ලබා දුන්නා.අපි වසර දෙකහමාරක් තිස්සේ අයි. එම්. එෆ් හා ලෝකය සමඟ විනිවිද භාවයෙන් වැඩපිළිවෙළක් ගෙන ගියා. කිසිම වෙලාවක දේශපාලන වාසි ගන්න ආර්ථිකයේ හැසිරුවේ නෑ. නැවත ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වුණේ ඒනිසයි”.යනුවෙන්ද පැවසීය.



Recommended Articles