බලපත්‍ර නොමැතිව එතනෝල් ප්‍රවාහනය කළ සුරාබදු පරීක්ෂකවරයෙක් අල්ලයි


ඇතිමලේ සීනි සමාගමට අයත් ස්කාගාරයට අනුයුක්තව සේවයකරන සුරාබදු පරීක්ෂකවරයෙකු සිය මෝටර්රථයෙන් එතනෝල් ස්ප්‍රීතු ලීටර් 135 මාතර ප්‍රදේශයට රැගෙනයමින් සිටියදී මොනරාගල නගර පොලිස් නිලධාරීන් විසින් ඉකුත් (01) වෙනිදා මොනරාගල වැල්ලවාය මාර්ගයේ සිරිගල. කිරිමණ්ඩලපාර හංදිය අසලදී අත්අඩංගුවටගෙන ඇත.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සිට මොනරාගල දෙසට ධාවනයවෙමින් තිබූ රතුපැහැති මෝටර්රථයක් නවතා පරීක්ෂාකිරීමේදී එහි තිබී එතනෝල් ස්ප්‍රීතු ලීටර් 135 සොයාගෙන තිබේ.

රථයේ රියදුරු වන සුරාබදු පරීක්ෂකවරයා ඒ සඳහාවූ බලපත්‍රයක් පොලීසියට පෙන්වා ඇත. නමුත් එම බලපත්‍රය එම දින වලදී නිවාඩු ලබා සිටින සුරාබදු පරීක්ෂක ධනුර සංඛ නිලධාරියා නිකුත්කළ බවට තහවුරුවී තිබේ.ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂාකිරීමේදී එම ලියකියවිලි ව්‍යාජ ඒවා බවට හෙළිවී ඇත.

පසුව මෝටර්රථය,එතනෝල් ස්ප්‍රීතු සහ සැකකරු වන අංක 35 කලාරුවන ධර්මරාජ මාවත උයන්වත්ත,මාතර යන ලිපිනයේ පදිංචි ඇතිමලේ සීනි සමාගමේ ස්කාගාරයේ සුරාබදු පරීක්ෂක වසන්ත රණසිංහ (59) නැමති අය අත්අඩංගුවට ගත්තේය.

 



Recommended Articles