බන්ධනාගාරයේ තනතුරු පුරප්පාඩු 1717ක්


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 79 කට අදාලව නිලධාරී පුරප්පාඩු 1717 ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සදහන් වේ.

2023.12.31 දිනට අනුමත නිලධාරී සංඛ්‍යාව 7872 ක් වුවත් ඒ වන විට සේවයේ යෙදි සිටියේ 6173 ක් පමණක් බවත් තනතුරු දෙකකට අදාලව නිලධාරීන් 18 දෙනෙකු අතිරික්ව සිටි බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.

බන්ධනාගාර රෝහල් 14 ක ශ්‍රේණිගත වෛද්‍යවරුන් 22 ක් අතිරික්තව සිටි බවත් බන්ධනාගාර රෝහල් 05 ක ශ්‍රේණිගත වෛද්‍යවරුන් 09 ක පුරප්පාඩු තිබු බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. බන්ධනාගාර රෝහල් 04 ක ලියාපදිංචි වෛද්‍යවරුන් 05 ක් අතිරික්තව සිටි බවත් බන්ධනාගාර රෝහල් 03 ක ලියාපදිංචි වෛද්‍යවරුන් 05 ක පුරප්පාඩු තිබූ බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

වෛද්‍යවරුන් බන්ධනාගාර රෝහල් වලට පැමිණීම සහ පිටවීම සම්බන්ධයෙන් දොරටු ලේඛණයන්හි ඇතුලත් තොරතුරු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවිය යුතු වුවත් 2023 වර්ෂය තුල එසේ යවා තිබුණේ බන්ධනාගාර රෝහල් කිහිපයක තොරතුරු පමණක් බවත් විගණනයේදී තහවුරු වී ඇත.

එසේ යවන ලද තොරතුරුද ක්‍රමාණුකූලව සකස් කර නොතිබූ බවද විගණන වාර්තාවේ සදහන් කර තිබේ. 2023.06.09 දින පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් ලබාදුන් නියෝග ප්‍රකාරව වෛද්‍යවරුන් බන්ධනාගාර රෝහල් වලට ඇතුල් වීමේදී හා පිටවීමේදී කටයුතු කල යුතු බවද විගණන නිලධාරීන් සිය වාර්තාව මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කරුණු පෙන්වා දී ඇත.

අගුණකොලපැලැස්ස, වටරැක, මීගමුව, මහර, බෝගම්භර හා වැලිකඩ බන්ධනාගාරවල 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා සිරකරුවන් 2316 දෙනෙකු නැවත නැවත බන්ධනාගාරගත වී ඇති බවත් එසේ නැවත නැවත බන්ධනාගාරගත වීම් හදුනා ගැනීමේ නිසි ක්‍රමවේදයක් බන්ධනාගාර තුල නොමැති බවත් විගණනයේදී තහවුරු වී තිබේ. සිරකරුවන් ලබාදෙන චාචික තොරතුරු මත මෙම නැවත නැවත සිරගත වීම් තොරතුරු වාර්තා කිරීමට ඒ ඒ බන්ධනාගාර කටයුතු කරන බවද විගණන නිලධාරීන් පෙන්වා දී ඇත.

බන්ධනාගාර තුල නීති විරෝධී අයුරින් ජංගම දුරකතන රදවා තබා ගන්නා රැදවියන් විසින් බන්ධනාගාරයෙන් පිටත බාහිර පාර්ශවයන් වෙත ලබාදෙන ඇමතුම් අවහිර කිරීම සදහා බන්ධනාගාර තුල ස්ථාපිත කර තිබූ දුරකතන සංඥා අවහිර කිරීමේ පද්ධති බන්ධනාගාර කිහිපයක නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද විගණනයේදී තහවුරු වී තිබේ. මීගමුව හා අගුණකොලපැලැස්ස බන්ධනාගාරවල සිදුකරන ලද භෞතික පරීක්ෂාවේදී මේ බව තහවුරු වූ බවද විගණන වාර්තාවේ සදහන්ය.

මෙම ගැටළු නිවැරදි කිරීමකින් තොරව රැදවියන් බන්ධනාගාරතුල ජංගම දුරකතන භාවිතා කරමින් සිදුකරන මත්දව්‍ය ජාවාරම් මෙන්ම මිනී මැරීම්, බන්ධනාගාර තුලට රාජකාරී අවශ්‍යතාවයන් සදහා යන බන්ධනාගාර හා වෙනත් නිලධාරීන් රැගෙන යන නීතී විරෝධී දව්‍ය නවතා දැමීමට නොහැකි බව බව බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දෙති.  



Recommended Articles