බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66%ක් පමණ කුමන හෝ අවදානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය පැවසීය.
ඇය එසේ පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය.
ආපදාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ තුන්දහසකට අධික පවුල් සංඛ්‍යාවක් මෙතෙක් නැවත පදිංචි කිරීමක් සිදුව නැති බවද මෙහිදී අනාවරණය විය.
ශ්‍රී ලංකාව කාලගුණික, දේශගුණික විපර්යාසවල ගෝලීය අධිඅවදානම් රටක් ලෙස අහිතකර බලපෑමට ලක්වෙමින් පවතී. මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යාම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, වසංගත තත්ත්ව වර්ධනය වීම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදී බලපෑම් නිරන්තරයෙන් සිදුවෙන අතර, මෙමගින් වාර්ෂිකව විනාශ වන පුද්ගල හා දේපළ හානි අතිවිශාල බවද නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දුන්හ.
ආපදා හේතුවෙන් වන බලපෑම අවම කරලීම සඳහා දේශගුණික විපර්යාස බලපෑම් අවම කිරීම, අවදානම් සංවේදී සංවර්ධන කටයුතු සිදුකිරීම, වනාන්තර ගිනිතැබීම් අවම කිරීම සඳහා සාමූහිකව ඒකරාශී වීම, නීතිවිරෝධී පස් කැපීම්, ප්‍රවාහනය හා තැන්පත් කිරීම වැළැක්වීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය හා නැවත පදිංචි කිරීම වේගවත් කිරීම සහ ඒ සඳහා භූමිය පරිහරණය විධිමත් කිරීම යන යෝජනා මෙහි ඉදිරිපත් කෙරිණි.
ආපදා හේතුවෙන් වන බලපෑම අවම කිරීමේදී යුතුකම, වගවීම, වගකීම මුල් කරගනිමින් රාජකාරි මට්ටමෙන් ඔබ්බට ගිය සංවේදී ප්‍රශ්නයක් ලෙස සලකා කටයුතු සිදුකිරීමට සියලුම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු බව, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා මෙහිදි අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු හෙන්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන නිමේෂා ප්‍රියංගි වනසිංහ හා නිලන්ති සමරවික්‍රම, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්, පළාත් ඉඩම් කාර්යාලයේ වැවිලි මානව භාරයේ මහත්ම මහත්මීන් හා තවත් රාජ්‍ය ආයතන කිහියක නිලධාරීන් සහභාගී වූහ.