බදු නොගෙවීම ගැන පියුමිට හා විරාජ්ට එරෙහි විමර්ශන ගොනු නීතිපතිට


ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරාජ් තාබුගල නමැත්තාට සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව කළ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි දේශීය  ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට අද (03) දැනුම් දුන්නේය.

බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කර ඇතැයි සඳහන් කරමින් විරාජ් තාබුගල නමැත්තාට සහ පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරා ඇති පැමිණිලි කැඳවූ අවස්ථාවේදී දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා  මහතා ඒ බව දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ පැමිණිලි කැඳවු අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණූ දක්වමින් කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන විරාජ් තාබුගල නමැත්තා සහ විශාල මුදල් සහ දේපල ඇති බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තිය 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කර ඇතැයි දැනුම් දුන්නේය.

සැකකරුවන් මෙතෙක් කල් රජයට බදු නොගෙවීම, බදු වාර්තා ඉදිරිපත් නොකිරීම හා බදු ගෙවීමට ලියාපදිංචි නොවීමෙන් අපරාධමය වරදක් කර ඇතැයිද මේ සම්බන්ධයෙන් කළ විමර්ශන වල උධෘත නීතිපතිවරයාට යොමු කර ඇතැයිද කී නීතිඥ දිනේෂ් පෙරේරා මහතා බදුකරණයට අදාළව සැකකරුවන් අපරාධමය වරදක් කර ඇද්ද? යන්න පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකැවන්ට එරෙහිව ඉදිරියේදී අපරාධ නඩු පවරන බවද  සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විමර්ශන වල ප්‍රගතිය ජූලි 03 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියෝග කළාය .

සචිත්‍ර ගුණසේකර



Recommended Articles