බදු ආදායම සියයට 39කින් ඉහළට


2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820 ලෙසත් අපේක්ෂා කරනු ලැබූ බව 2024 වර්ෂය සඳහා වූ අය වැය ලේඛනයෙහි දක්වා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමඟ පෙරේදා (07දා) සඳහන් කළේය. 

2024 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට සැප්තැම්බර් 30 දක්වා  මාස 09 ක කාල සීමාවක දී රජයට ලැබී ඇති මුළු ආදායම රුපියල් බිලියන 2,918 ක් වන අතර  බදු ආදායම ලෙස රුපියල් බිලියන 2,688 ක් ලැබී ඇති බවත් එය 2023 වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය සමඟ  සසඳා බලන විට මුලු ආදායමින් 38% ක පමණ වර්ධනයක් බවත් බදු ආදායම 39% ක් පමණ  වර්ධනයක් පෙන්නුම් කරනු ලබන බවත්  මහාචාර්යවරයා  සඳහන් කළේය.

 2024 වර්ෂයේ  ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා සාමාන්‍යයෙන් මාසයකට  රුපියල් බිලියන 324ක පමණ ආදායමක් ලැබී ඇත. එහි සඳහන් සාමාන්‍ය මාසික ආදායමට සමාන ආදායමක් මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් 31 දක්වා මාස 03 ක කාලයෙහි  ලැබෙනුයේ නම්  මෙම වසර තුළදී  රජයට ලබා ගැනීමට  හැකි වනුයේ රුපියල් බිලියන 3,891 ක් පමණි. එසේ වුවහොත් රජය  අපේක්ෂා කළ ආදායමට වඩා රුපියල් බිලියන 215 ක පමණ අඩු ආදායමක් මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ රජයට  ලැබීමට  නියමිතව ඇත.

මෙම වසර තුළ දී රජයේ සාමාන්‍ය මාසික වියදම රුපියල් බිලියන 433 ක් පමණ වී ඇති අතර  රජයේ මාසික ආදායම රුපියල් බිලියන 324 ක් පමණ වේ. මේ අනුව  රාජ්‍ය වියදම් පියවා ගැනීමට  සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 108 ක පමණ ණය ගැනීමට  සිදුව ඇත. 2025 වර්ෂය සඳහා අය වැය තුළ ඇති වන හිඟය  පියවා ගැනීමට යම් ආකාරයකට  ක්‍රියා කළ යුතු බවත් එසේ නොවන්නේ නම් රාජ්‍ය ණය ගැනීම් තවදුරටත් ඉහළ යා හැකි බවත් මහාචාර්ය වසන්ත  අතුකෝරළ මහතා  තවදුරටත්  සඳහන් කළේය.

චන්දන සමරවික්‍රම

 



Recommended Articles