පොලිස් නිලධාරියෙක් ආගිය අතක් නැති බවට පැමිණිල්ලක්


හම්බන්තොට මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී සේවයට වාර්තා නොකිරීම නිසා සේවය අතහැර ගියා සේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ආගිය අතක් නැති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වීරවිල පොලීසිය සඳහන් කරයි.
උඩුවිල, ගෝනගමුව, තිස්සමහාරාම ලිපිනයේ පදිංචි හම්බන්තොට මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ (66477) ඩී.එම්.දර්ශන ගයන්ත ලක්මාල් නමැති පොලිස් කොස්තාපල් වරයෙකු මෙම සිද්ධියට මුහුණදී තිබේ.
පොලිස් කොස්තාපල් වරයාගේ බිරිද විසින් මේ පිළිබදව වීරවිල පොලිසියට පසුගිය 17 වන දින රාත්‍රි මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
සිය සැමියා පසුගිය 13 වැනිදා එළියට ගිහින් එන්නම් කියා නිවසින් ගිය බවත් මේ වනතුරුත් ඔහු යළි නිවසට නොපැමිණි බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ. සිය පියා නිවසට නොපැමිණීම නිසා දරුවන් විසින් දුරකථන ඇමතුමක් ගෙන විමසීමේදී තමන් යළි නිවසට නොපැමිණෙන බවත් පොලීසියෙන් පැමිණියොත් පොලිස් නිල ඇඳුම් ඔවුන්ට බාර දෙන බවත් පවසා දුරකථනය විසන්ධි කර තිබේ. එතැන් පටන් මේ වනතුරුත් සිය සැමියා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව වැඩිදුරටත් පැමිණිල්ලේ දක්වා තිබේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා සේවයට වාර්තා නොකිරීම නිසා ඔහු සේවය අතහැර ගියා සේ සළකා සේවය අතහැර යෑමේ නියෝගයක්ද නිකුත් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය. 
 වීරවිල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සූරියවැව - නුවන් ජයසේකර



Recommended Articles