පොඩි දිමුතු ලංකාවට එද්දී අල්ලයි


ගාල්ල , රත්ගම පොලිස් වසම තුළ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වූ බවට චෝදනා ලබා සිටි කළහෙට්ටිආරච්චිගේ දිමුතු සම්පත් නොහොත් පොඩි දිමුතු සාජා නුවර සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 10/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් 28 හැවිරිදි  දිමුතු සම්පත්, ගලබඩ , කුළීගොඩ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පොඩි ලැසී සමග ඇති කර ගෙන තිබූ ආරවුලක් මත 2023.10.09 දින රත්ගම පොලිස් වසමේ සේවයේ නිරත වී සිටි පොලිස් පරීක්ෂක දැඩිමුනි බාලේන්ද්‍රසිංහ වෙඩි තබා මරා දැමීම සදහා මෙසේ අත් අඩංගුවට ගත් දිමුතු සම්පත් නැමැති පුද්ගලයා ඔත්තු බලා ඇති බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන තිබේ. 

මෙසේ අත් අඩංගුවට දිමුතු සම්පත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට 10/21 දින අලුයම 03.00 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ රදවා තබා ගෙන සිටීමෙන් පසුව ,මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත භාර දී තිබේ. .



Recommended Articles