පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර ලැබෙයි


පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නට යොජනා කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ( 18) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

මහබැංකුව  සමග දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඒ පිළිබඳව අවබෝධයෙන් සිදුකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

" අපිට දීර්ඝ කාලයක් වාහන වෙළඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නෑ. අපි තීරණය කර තිබෙනවා කාණ්ඩ තුනක් යටතේ මේ වාහන වෙළඳපොළ යළි විවෘත කරන්න.

මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් වාහන පසුගිය 14 දා සිට විවෘත කර තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෝටර් රථ හා පෞද්ගලික ප්‍රවාහනය සඳහා මෝටර් රථ විවෘත කරනවා. පෞද්ගලික ප්‍රවාහනය සඳහා මෝටර් රථ ආනයනය 2025 පෙබරවාරි පළමුවැනිදා සිට විවෘත කරන යොජනාව අපි ඇතුළත් කර තිබෙනවා.

මේ හරහා නැවත අපි ඩොලර් අර්බුදයකට මුහුණ දෙයි කියලා කවුරුත් හිතන්න එපා. මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය සඳහා පිට මංව යන ඩොලර් ප්‍රමාණය කොතරම්ද කියලා අපි ඇස්තමේන්තු කර තිබෙනවා. එය කොතරම් ප්‍රමාණයක අපේ ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියලා ඇස්තමේන්තු කර තිබෙනවා. නමුත් අපි විශ්වාස කරනවා අපේ ආර්ථිකය යළි හැරවෙන්න නම් මේ වාහන වෙළඳපොළ අපි විවෘත කළ යුතුයි. එය විවෘත කිරීමට අපි කටයුතු කරනවා."



Recommended Articles