එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත පුද්ගලයන් 50,000 කට ‘ටයිපොයිඩ්’ එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන්හි නිරත පුද්ගලයන්ට එන්නත ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මේ දිනවල ක්‍රියාත්මක කර තිබේ.
ගෙවුණු කාල පරිච්ඡේදයෙහි ‘ටයිපොයිඩ්’ රෝගය වැළඳීමේ හා පැතිරීමේ වැඩිම ප්‍රවණතාව ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මූලික කර ගනිමින් සිදුවන බව ගෙවුණු වසර කිහිපයක සංඛ්‍යාලේඛන අනාවරණය කර ඇත. එබැවින් එම ක්ෂේත්‍රවල සේවයේ නියුතු පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා සඳහන් කළේය.
මෙම එන්නත ලබාගැනීමෙන් ‘ටයිපොයිඩ්’ රෝගයෙන් ආරක්ෂා වන අතර, රෝගය පැතිරීමේ අවදානමද තුරන් වේ.
මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් දැනට ස්ථානගත කර ඇති අතර, එම පිරිස් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358කින් එක්රැස් කරගත් දත්ත පාදක කර ගනිමින් මෙම ‘ටයිපොයිඩ්’ එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරති .
මෙහිදී ජංගම ආහාර වෙළෙන්දන්, ආපන ශාලා සේවකයන්, ජනාකීර්ණ ස්ථානවල ආහාර අලෙවි කරන්නන් මෙන්ම අධ්‍යාපන ආයතන, පාසල් සහ අනෙකුත් ආයතන වෙත සමූහ ලෙස ආහාර පිසින, අලෙවිකරණ සහ බෙදාහරින පුද්ගලයන් ඉලක්කගත ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
‘ටයිපොයිඩ්’ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මෙම එන්නත වසර 03කට වරක් ලබාගත යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන මෙම එන්නත් වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මගින් සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාගත හැකිය.