පිළියන්දල SOS ළමා ගම්මානයෙන් පැහැදිලි කිරිමක්


පිළියන්දල SOS ළමා ගම්මානය බාරයේ සිටින 14 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ ගම්මානයේ පරිපාලනය දැනුවත් බවත් එයින් මහත් කම්පනයට පත්ව සිටින බවත් එම ගම්මානයේ පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම දැරියගේ කායික සහ මානසික යහපැවැත්ම තහවුරු කිරීම මේ මොහොතේ ගම්මානයේ ප්‍රමුඛතාවවන අතර, මේ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා වගකිවයුතු ආයතනයක් ලෙස අදාළ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අම ආයතනය පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි...

මෙම සිද්ධියට පාදක වී ඇතැයි සැලකෙන දැරිය, 2023 වසරේ ජනවාරි මාසයේ පිළියන්දල SOS ළමා ගම්මානයට ඇතුළත් කෙරුණු දැරියක්වන අතර, අප ආයතනය අසළ පිහිටි ප්‍රශ්නගත පන්සලට ඇය ඉදිරියේ පැවැත්වීමට නියමිත දහම් පාසල් තරඟ පුහුණුවීම් සඳහා සෙසු ළමුන්ද සමඟ යොමුකරවන ලදී. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත්තේ එම පුහුණුවීම් සඳහා සහභාගී වීමේදී බව දැරිය ඇයගේ මවට ප්‍රකාශකර ඇත.

සිද්ධිය සැලවූ වහාම අප ආයතනය සහ එහි කළමනාකාරිත්වය කඩිනමින් ඇය රෝහල්ගත කිරීමටත්, ඇයට අවශ්‍ය සියලු ම ආකාරයේ පහසුකම් සැලසීමටත් කටයුතු කළේය. රෝහල් කාර්යමණ්ඩලය විසින් ඇයට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, පොලීසිය සහ උසාවිය ඇතුළු මේ සම්බන්ධව කටයුතු කරන සියලු ම රජයේ ආයතනවලට, විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට අපි කැපවී සිටිමු.



Recommended Articles