පිරමීඩ ජාවාරමකින් රු. කෝටි 1000ක් වංචා කළ අඹු සැමි යුවළක් අල්ලයි


කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය  සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ 11/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි    රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ නැමැති 52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර ,
ඔහු 11/08 දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 189 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි මොහු පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත  කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි .

පසුව ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ , මොහුගේ බිරිඳ , ගාල්ලේ වඩුගමගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර නැමැති 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

"ජෙඩ්සීස් බිස්නස් ස්කූල්" නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහළ් නිවාස සංකීර්ණයක් ඉදි කර පැවතීම , එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිළ දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස්  ඇති බව අධිකරණ විමර්ශන වලදී  අනාවරණය වී තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා 11/08 දින උදෑසන , කොළඹ , කොටුව  මූල්‍ය සහ වානිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ .

ඊට අමතරව කොළඹ නාරාහේන්පිට නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය මගින් ද මොවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බැවින් , එම කොට්ඨාසය වෙත ද මොවුන් යොමු කිරීමට නියමිතය .



Recommended Articles