පාහියන්ගල කැණීම්වලින් සොයාගත් අස්ථිවලින් සැකසූ සැකිල්ල සංරක්ෂණයට


මෙරට පිහිටි විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස ප්‍රකට, පාහියංගල ගල්ලෙනෙහි සිදු කළ පර්යේෂණ කැණීමෙන් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල නිසිපරිදි කඩිනමින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මේ පිළිබඳව සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එම අස්ථි සැකිල්ල මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ  කායව්‍යච්ඡේද අධ්‍යයනාංශයේ තබා තිබේ.

එය විධිමත් ආරක්ෂණ ක්‍රියාමාර්ග සැලසීමෙන් අනතුරුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත භාර දීමටත්, එම කටයුතුවලින් අනතුරුව ඉදිරි කාලයේදී අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමටත් මේ වන විට යෝජනා වී ඇත.



Recommended Articles