පාස්පෝට් පෝලිම් ගැටලුව විසඳුවාලු


මුදල් වියදම් කරමින් එක්තරා කණ්ඩායමක් කටයුතු කිරීම ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේදී පෝලිම් ඇති වීමට  ප්‍රධාන වශයෙන් බලපෑ බවත්,එය මේ වන විට යථාතත්ත්වය පත් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

බත්තරමුල්ල ප්‍රදේශයේ අද (09දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පෝලිම් හැදුණේ පාස්පෝට් එකේ අඩුපාඩුවකට නෙවෙයි. අපි මුලින්ම පටන් ගත්තේ ඔන්ලයින් එපොයින්මන්ට් දෙන්න. අපි රෑ 12ට ඔන්ලයින් එපොයින්මන්ට් එක ඕපන් කළේ. මිනිත්තු 15-20ක් යනකොට සියලුම එපොයින්මන්ට් ඉවර වුණා. ඊට පස්සේ බැලුවම එක කට්ටියක් සිම් කාඩ් 100ක් විතර අරගෙන, එවෙලෙම එපොයින්මන්ට් අරන් ඊළඟට එපොයින්මන්ට්ස් මේ එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට.

ඒක මම දැනගත්තම මම කිව්වා  වහාම ඔන්ලයින් එක නතර කරන්න කියලා. එහෙම නතර කරලා පෝලිමේ එන්න දෙන්න කියලා කිව්වා. එතකොටත් මේ පෝලිම හැදෙනවා ඉවරයක් නෑ. ඊට පස්සේ මොනවාද මේ අය කළේ? මේ අය පෝලිමේ තැන් අල්ලනවා. ඒක විකුණනවා 20,000- 25,000ට. 

ඊට පස්සේ  මම  මෙහේ ඩී.අයි.ජීටත් කතා කරලා පෝලිම භාර ගන්න කිව්වා පොලීසියට. කරන ක්‍රමය කිව්වා. එදායින් පසු පළමු දවස් දෙක තුනේ  2 විතර වෙනකන් පෝලිම තිබ්බා. දැන් 10.30-11 වෙනකොට පෝලිම් ඉවරයි. මම දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන් ඇහුවා. ඒ අයම කිව්වා වැඩ පිළිවෙල හොඳයි කියලා. නමුත් අපේ මාධ්‍යත් සෝෂල් මීඩියා එකෙත් යම් කොටසක් සැලසුම් සහගතව මේක ලොකූ ප්‍රශ්නයක් හැටියට පෙන්වලා දුන්නා.

අපි හැමදාම පාස්පෝට් හදිසි අයට කොහොම හරි දෙනවා. එහෙම හදිසි නැති අය පොඩ්ඩක් ඉවසලා ඉන්න ඊළඟ මාසේ 20 විතර වෙනකන්. එක කල්ලියක් කවදාවත් මෙතන වෙන හොඳ දෙයක් කියන්නේ නෑ. හැමදාම මේ කල්ලි කරන්නේ ඒක. මට වෙලාවකට හිතෙනවා සමහර අයට  මුදලුත් ගෙවනවා මේ වැඩේ කරන්න .

ඒක රහසක් නෙවෙයි. මෙතනට එන අනිකුත් සෙනගත් පෙන්න පෙන්න පාස්පෝට් පෝලිම කියලා කියනවා. ඔය කල්ලි එකතුවෙලා සල්ලිවලට කරන වැඩේට මම නම් කිසි දිනක බය වෙන්නේ නෑ. මම හරි දේ කරනවා හරි විදියට. මේ වෙලාවේ රජයේ මුදල් මිලියන  894ක් වියදම් නොකර මේ වැඩේ කළේ”



Recommended Articles