පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි


  • මහජන න්දයෙන් කාන්තාවන් සැලකියයුතු ප්‍රතිශතයකින් මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වීම සුවිශේෂී ජයග්‍රහණයක් -  අග්‍රාමාත්‍යවරිය පවසයි.
  • මෙරට සෑම කාන්තාවක්ම සුරක්ෂිතවෙන රටක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි - සංසදයේ සභාපතිවරිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊයේ (03) පළමු වරට අග්‍රාමාත්‍ය ,ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර සහ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්මීන්ද එක්ව සිටියහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නව සභාපති ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය තේරීපත්විය. ඒ සඳහා වන නම පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කලාය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් දෙදෙනෙක්ද තේරීපත්විය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල මහත්මිය නියෝජ්‍ය සම සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියගේ ස්ථිරත්වයෙන් තේරීපත්විය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මියගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ මහත්මියගේ ස්ථිරත්වයෙන් නියෝජ්‍ය සම සභාපති ලෙස තේරීපත්විය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, මහජනතාව විසින් ඡන්දයෙන් කාන්තාවන් සැලකියයුතු ප්‍රතිශතයක්, මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්කර එවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නාය. ඉදිරියේදී කිසිදු දේශපාලන මතවාදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තුළ කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වාා දුන්නාය.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් සංපදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් මෙරට සෑම කාන්තාවක්ම සුරක්ෂිත වෙන රටක් නිර්මාණය කිරීම සංසදයේ අපේක්ෂාව බව පවසුවාය.

මෙහිදී සංසදය මගින් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යනය කර වාර්තා කිරීමට නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක්ද පිහිටුවනු ලැබීය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මියගේ යෝජනාවකට අනුව ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දිනය සිහිගන්වමින් එය සැමරීම ලබන 6 වැනිදා සිදුකිරීමටද නියමිතයි.



Recommended Articles