පාර්ලිමේන්තු මංගල සැසියේ තේ පැන් සංග්‍රහයේ වියදම ගැන පැහැදිලි කිරීමක්


පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340/= ක මුදලක්ද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන්  රුපියල් 339,628.55ක මුදලක් වැය වී ඇති බව සඳහන් කරමින් මාධ්‍ය පළකළ වාර්තා ගැන පාර්ලිමේන්තුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

මේ පිළිබඳව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම පහත පරිදි වෙයි

‘නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2020.08.20 වැනි දිනද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024.11.21 යන දිනයන්හිදී පවත්වා ඇත.

ඒ අනුව නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුව වල  මංගල සැසිවාරයන්  වෙනුවෙන් පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් දරන ලද වියදම අතර වෙනසට පහත කරුණු හේතුපාදක වී ඇති බව දන්වනු කැමැත්තෙමි .

මෙම නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුව වල පැවැත්වූ මංගල සභා වරයන් අතර කාල පරාසය වසර 4ක් පමණ වේ. එම කාල පරාසය තුළ වෙළඳපොළේ සිදුවූ මිල උච්චාවචනයන් ප්‍රධාන වශයෙන් සංග්‍රහ වියදම් හා අනෙකුත් වියදම් ඉහළයාමට බලපා ඇත. මෙම කාල පරාසය තුළ සිදුවූ ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවා වල මිල ගණන්  ඉහළ  යාම  හේතුවෙන්  අ‍ාහාර වර්ග සකස් කිරීම සඳහා දැරීමට සිදුවූ වියදම 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී දළ වශයෙන් 100% කින්  වර්ධනය වී ඇති බව  දන්වනු කැමැත්තෙමි.

තවද මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ,රාජ්‍ය  තාන්ත්‍රිකයින්,අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ බව  වැඩි දුරටත් දන්වමි.

 



Recommended Articles