අලුතින් පුහුණුව ලැබු විශේෂ කාර්ය බළකා භටයන් 500 දෙනකු හෙට (07) විසිර යාමට නියමිත බවත් එම සියලු විශේෂ කාර්ය බළකා භටයන් මෙරට ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම් මර්ධනය සඳහා යොදවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (06) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙරට ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා රජයේ දැඩි අවධානය යොමුව ඇති බවයි. මෙරට තැන තැන වෙඩි තැබීම් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ බවත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් රට තුළ ස්ථාපිත කිරීම සඳහා පසුගිය කාලයේ සිටි ඇතැම් දේශපාලකයන්ගේ දායකත්වය ලැබී තිබෙන බව රහසක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය. එවකට සිටි දේශපාලකයන්ගේ පූර්ණ අනුග්‍රහය මතකලක් තිස්සේ ස්ථාපිත වූ පාතාල කල්ලි මාස 06ක් වැනි කෙටි කලක් තුළදී මර්ධනය කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.
රටේ ජනතාවට බියක් සැකක් නොමැතිව ජීවත්වීමේ වටපිටාව සකස් කිරීම සඳහා වැඩපිළිවෙළ රාශියක් මේ වන විට ක්‍රියාත්මක කොට තිබෙන බවත් නීති විරෝධී අවි ආයුධ විශාල ප්‍රමාණයක් රට තුළ සංසරණය වන බවත් ඉන් ආයුධ දහසකට ආසන්න ප්‍රමාණයක්මේ වන විටත් අඩංගුවට ගෙන තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. පසුගිය කාලය පුරා පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්න තිබුනේ ත්‍රිවිධ හමුදාවේ පුහුණුව ලැබා ඉන් ඉවත්ව ගිය පිරිස් හෝ අතහැර ගිය පිරිස් බවද නීති විරෝධී ලෙස එසේ හමුදාව අතහැර ගිය පුද්ගලයන් 1700ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවද පැවසීය.
විදේශ රටවල සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පුද්ගලයන් කිහිප දෙනෙකුම මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගෙන තිබෙන බවද අවධාරණය කළ අමාත්‍යවරයා ඒ අනුව ඔවුන්ද ඉදිරි කාලයේදී අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගන්නා බවද පැවසීය.
පොලිසියේ සහ හමුදාවේ ඉතා සුළු පිරිසක් පාතාල ක්‍රියාකාරීන් සමග සම්බන්ධතා පවත්වන බවට ආවරණය වී තිබෙන බවත් ඔවුන් හඳුනාගෙන එම සේවාවලින් ඉවත් කිරීමටත් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් තවත් එවැනි පිරිස් පිළිබඳව විමර්ශන සිදු කෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අප්‍රේල් මස 18 වැනි දින ආරම්භ වීමට නියමිත ශ්‍රී දළදා දැක්ම වෙනුවෙන් දියත් කිරීමට නියමිත ආරක්ෂක සැලැස්ම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් හා ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (06) මහනුවරදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබුණි.