ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍ර 35ක් යළි භාර ගන්න නියෝග


උප්පැන්න සහතික ගැටළු, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම් ගැටළු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් ගැටළු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 35 ක් යළි භාරගන්නා ලෙස අදාළ පළාත් පාලන ආයතනවල තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.

මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ විසින් සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

දීර්ඝ විභාගයකින් පසු ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේ සඳහන්වේ.

සාමාදාන විනිශ්චකාරවරු විසින් සහතික කළ නාම යෝජනා පත්‍ර සහ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන ගත් තීරණය යුක්ති සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වැනිදා ප්‍රකාශයට පත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තීන්දුවක සඳහන්වේ.

ඒ අනුව මෙම කරුණට අදාළව තම අධිකරණය විසින් මීට පෙර ලබාදුන් තීන්දුව යළි සලකා බලන ලෙසත් මෙම කරුණට අදාළව අලුතින් ගොනුකර ඇති පෙත්සම් සලකා නොබලන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කෙරිණී.

එහෙත් තම අධිකරණය එම තීන්දුව දෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල තීන්දුව ප්‍රකාශයට පත් කර නොතිබිණි. ශ්‍රේෂ්ඨධිකරණයේ එම තීන්දු මේ අවස්ථාවේදී තම අධිකරණයට අදාල නොවයි.

ඒ අනුව අදාල නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අදාල තේරීම් භාර නිලධාරීන්ට තවත් රිට් ආඥාවක් නිකුත් කළේය.

සචිත්‍ර ගුණසේකර

 



Recommended Articles