පළමු වතාවට ෆයිසර් එන්නත් තොගය දිවයිනට


දකුණු ආසියානු කලාපයේ රටක් විසින් , මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය වන , ශ්‍රී ලංකාව මිළ දී ගත් , ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක ප්‍රමාණයෙන් , පළමු කොටස අද  දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙම එන්නත් තොගය කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන පැමිණ තිබූ අතර , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 2.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත් තොගයේ , පළමු කොටස ලෙස  මෙහි එන්නත් මාත්‍රා 26,000 ක් පමණ තිබුණි .

සෙල්සියස් -70° ක (ඍණ අංශක 70 ක ) උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ යුතු මෙම එන්නත් තොගය , ගුවන් යානයෙන් ගොඩ බෑ සැනින් , කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ විශේෂ අධිශීතකරණ තුළ ගබඩා කළ අතර , ඉන්පසුව විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .

එසේම ශ්‍රී ලංකාව විසින් මිළ දී ගත් මෙම  ෆයිසර් වර්ගයේ තවත් එන්නත් මාත්‍රා 174,000 මෙම මාසය තුළ මෙරටට ලැබීමට නියමිත බව ද ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles