පවුලක මාසික ආදායම රු. 100000ක් කරන්න යන දිලිත්


සෑම පවුලකම අවම මාසික ආදායම රුපියල් ලක්ෂයක් දක්වා විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමා සතු බවත් තරුව ලකුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපතිධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ මොනරාගල නගරයේ පරණ බස් නැවතුම්පොළ අසලදී  (16) වෙනිදා සවස පැවති ජන හමුවක් අමතමිනි.

"අස්වැසුම,සමෘද්ධිය,ජනසවිය වැනි සහනාධාර වැඩසටහන් රට පුරා දියත් කළත් ඒ කිසිවෙකුගෙන් දිළිඳු ජනතාවගේ ආර්ථිකය උසස් මට්ටමකට පත්වුණේ නැහැ.දේශපාලඥයින් පසුපස ගොස් ඒවා ලබාගැනීමට සිදුවුණා.එවැනි වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ.දේශපාලඥයින් පසුපස ගොස් සහනාධාර ලබාගැනීමේ ක්‍රමය අවසන්කොට ගෞරවාන්විතව ආදායම වැඩිකිරීමේ වැඩපිළිවෙලක් අපි දියත් කරනවා.

ලක්ෂයක අවම ආදායමක් ඉපයීමේ මාර්ග සකස්කොට එය ලක්ෂ පහ දක්වා වැඩිකිරීම අපේ අරමුණයි.රජයට බරක් නොවී ණයනොවී ජීවත්වීමේ මාර්ගය සෑම පවුලකටම ලබාදෙනවා.සමෘද්ධිය ලබාදෙන සමෘද්ධි නිලධාරීන් අද අසරණ වෙලා.

අවුරුදු ගණනකින් වැටුප් වර්ධකයක්වත් ලබාදී නෑ.ඔවුන්ට අභිමානයෙන් යුතුව වැඩකිරීමට අවශ්‍ය වැටුපක් ලබාදෙන අතර සියලුම රජයේ සේවකයින්ට ඒ අවස්ථාව ලබාදෙනවා.පෙර පාසල් අධ්‍යාපනයේ සිට ප්‍රාථමික,ද්විතීක සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය  වඩා ශක්තිමත්කොට රැකියා සොයායන තරුණ තරුණියන් වෙනුවට රැකියා ලබාදෙන ව්‍යවසායකයින් බිහිකරනවා.

වෙල්ලස්ස ප්‍රදේශයේ ජීවත්වෙන්නේ සටන්කාමී ජනතාවක්.ඔවුන් ජාන වලින්ම අයුක්තියට,අසාධාරණයට එරෙහි වන පිරිසක්.නමුත් පසුගිය කාලයේ පැවති සෑම මැතිවරණයකදීම ඔවුන් අනාථ වුණා.මම කිසිම දිනක දේශපාලනයට අවතීර්ණවීමට සිතුවේ නැහැ. නමුත් පසුගිය කාලයේදී රටේ දේශපාලනයට පිවිසි සෑම නායකයෙක්ම කළේ රට දිනෙන් දින අගාධයට පත්කිරීම.මම හොඳ ව්‍යවසායකයෙක්.රජයට බදුගෙවනවා.සේවක සේවිකාවන් විශාල පිරිසකට ඊපීඑෆ් ඊටීඑෆ් අඛණ්ඩව ලබාදෙනවා.තුට්ටු දෙකේ දේශපාලනයට තිත තැබිය යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී රටට ජනතාවට ආදරේ කරන රටේ සම්පත් නොවිකුණන ණය නොගන්නා ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි.දැන් කෑමොර දෙන නායකයින් තිදෙනාටම එය බැහැ.ඔවුන් සිටින්නේ රට විනාශ කරන පැත්තේ.රනිල් වික්‍රමසිංහ අහම්බෙන් ජනාධිපති ධූරයට පත්වූ කෙනෙක්. ඔහුට රටේ සම්පත් සහ දේපළ ආරක්ෂාකිරීමට අවශ්‍යතාවයක් නැහැ.

සම්පත් විකුණලා ණය අරගෙන එක්තරා කණ්ඩායමකට සුරසැපදීම තමයි ඔහුගේ පාලනය යටතේ සිදුවන්නේ.ප්‍රධාන දේශපාලන ධාරාවේ තිදෙනෙක් ඉදිරිපත්කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන පච මල්ලක්.ඒවා කටුගෙට තමයි යවන්න ඕන.නමුත් අපේ උපාය මාර්ග “හිතේ හයිය”වැඩසටහන යටතේ රට ගොඩගන්නා ආකාරය සහ දින වකවානු දක්වා තිබෙනවා.

එදා තරුණ තරුණියන් ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක්.අවසානයේ වුණේ ගෝඨාභය රටින් පැනලා ගිහින් කිසි දිනෙක ජනතා ඡන්දයෙන් ජනාධිපති විය නොහැකි රනිල් රටේ නායකයා බවට පත්කිරීම.එදා රටේ ජනතාව කීවා දෙසීය විසිපස් දෙනාම එලවා දමන්න ඕන කියලා.ගාලු මුවදොර තරුණ තරුණියන් ඒකරාශී වුණේ ඒ සඳහායි.අද රනිල් කියනවා.පෝලිම් යුගය නැතිකළා කියලා.

ගෑස් ඉන්ධන ඕන තරම් තියෙනවා විදුලිය ප්‍රශ්නයක් නැහැ කියලා.නමුත් එක්දහස්තුන්සීයට තිබූ ගෑස් සිලින්ඩරය රුපියල් පන්දහස දක්වා වැඩිකළා. ඉන්ධන මිල තුන් හතර ගුණයකින් වැඩිකළා.විදුලි බිල සියයට පන්සියයකින් වැඩිකළා.ඒ නිසා ගෑස් මිලදීගැනීමට මිනිස්සුන්ට වත්කමක් නැති වුණා. ඉන්ධනත් එසේමයි.පන්සල් වල රුපියල් තුන්දහසේ තිබූ විදුලි බිල විසි දෙදහසක් දක්වා වැඩිවී තිබෙනවා.අද වීරයා වගේ කියනවා මම පෝලිම් යුගය නැති කළා කියලා.පෝලිම් යුගය නැති වුණේ ඒවා ගන්නමුදල් නැති නිසයි."

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles