නීතිවිරෝධී වාහන දෙකකට අවශ්‍යව සිටි මන්ත්‍රී රෝහිතගේ ඥාති පුතා පොලීසියට භාරවෙයි


නීති විරෝධී වාහන දෙකක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවශ්‍යව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාති බෑනා (රෝහිත අබේගුණවර්ධන මහතාගේ දුවගේ සැමියාගේ සහෝදරයා) නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට බාර වී තිබේ.

මහනුවර මහයියාව ප්‍රදේශයේ වාහන අලවිසැලක හිමිකරුවකු වන එම සැකකරුගේ අනිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්.මෝටර් රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් ඉකුත් මස 20 වැනි දින දී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම වාහන දෙක රජයේ රස පරීක්ෂක වරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එම වාහන දෙක නීති විරෝධී වාහන දෙකක් බවට පොලිසියට වාර්තා කොට තිබුණි.

එම සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේමෝටර් රථයමෙරටදි නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් බවටත් මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ චැසි අංකය සූරා දමා ඇති බවටත් රස පරීක්ෂක වාර්තා ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සැකකරුට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබුනද ඔහු පොලිසිය මඟ හැරීම හේතුවෙන් රටින් පිටවීමේ නියෝගයක්ද උසාවියෙන් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

සැකකරු අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles