නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා නීත්‍යනුකූල මද්‍යසාර බෝතලයක් අඩු මිලට ලබා දීමට කටයුතු කිරීම තුළින් රටේ ජනතාව රෝගී වීම ඉහළ යන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ වගකීම විය යුත්තේ, මද්‍යසාර බදු නිවැරදිව අය කර ගනිමින් නීත්‍යනුකූල නොවන මද්‍යසාර වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවද එම මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ, සම්පත් ද සේරම් මහතා සඳහන් කළේය.
මීට අමතරව කළ යුත්තේ වෙළඳ පොළ තුළ ඇති සුරාබදු නොගෙවා අලෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත්, ඒවා වෙළඳ පොළට නිකුත් කළ කූට ව්‍යාපාරිකයන්ට නීති මගින් කටයුතු කිරීම බවද කියා සිටියේය.
අඩු මිලට මද්‍යසාර ලබා දීමට කටයුතු කිරීමෙන් සිදුවන්නේ මද්‍යසාර භාවිතයෙන් පුද්ගලයන් රෝගීන් බවට පත්වීම ඉහළ යාම හා පවුල් ජීවිත විනාශ කරමින්, රටේ සිදුවන අනතුරු වැඩි වී දරුවන්ගේ සතුට, නිදහස අහිමි වී කාන්තාවන්ට සිදුවන හිංසන ක්‍රියා ඉහළ යාම බවද පැවසීය.
නීත්‍යනුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින්, රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩිකර මද්‍යසාර සමාගම්වලට වාසිසහගත තත්ත්වයක් ඇති කරමින්, ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බවද කියා සිටියේය.
1996 වසරේදී එවකට සිටි මුදල් අමාත්‍යවරයා මෙවැනිම තර්කයක් ඉදිරිපත් කරමින් නීත්‍යනුකූල මද්‍යසාර පාලනයට යැයි පවසමින් බියර් බදු 50%කට වැඩි ප්‍රමාණයකින් පහත දැමූ බවද සඳහන් කළේය.
එම ක්‍රියාවෙන් සිදුවූයේ 200%කට වඩා වැඩි අගයකින් බියර් භාවිතය වැඩි වීම බවත්, එවකට මුදල් අමාත්‍යවරයාගේ අරමුණ ඉටු වූවා නම් අද වන විට මෙවැනි සාකච්ඡාවක් ඇති වීමට අවස්ථාවක් නොමැති බවද පැවසීය.