නිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ ,අතුරුගිරිය ඔරුවල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම් කේ ලක්ෂ්මන් නමැති වයස අවුරුදු 55 ක දෙදරුපියකි
වසර දෙකක පමණ කාලයක සිට එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටින මියගිය පුද්ගලයා ඊයේ (25) සවස නිවසින් පිටවගොස් මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නිවස ඉදිරිපිටට පැමිණ ඉතා අපහසුවෙන් සිට නිවස ඉදිරිපිට රෝලර් ගේට්ටුවෙන් පිටත මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය කියයි.
මේ බව නොදත් නිවෙස් හිමිකාරිය අවශ්‍යතාවයක් සඳහා නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය රැගෙන රෝලර් ගේට්ටුව හරහා මෝටර් රථය පිටුපසට ගැනීමේදී නිවස ඉදිරිපිට මාර්ගයේ නිදා සිටි මෙහෙකරුගේ ශරීරය මතින් ගොස් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මේ බව නොදත් නිවෙස් හිමිකාරිය ප්‍රධාන මාර්ගයට නිසි අයුරින් මෝටර් රථය ගැනීමට සිදුවූ අපහසුතාවය හේතුවෙන් මෝටර්රථය කීප වරක් ඉදිරියට සහ පසුපසට මද දුරක් ඒ මේ අත ඇය ධාවනය කරන අයුරු නිවසේ සවිකර තිබූ සීසිටීවී කැමරාවේද සටහන් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
බරපතල තුවාල ලද මෙහෙකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියත් සමගම හෘදයාබාධයට ලක් වූ මෝටර් රථය පැදවූ නිවෙස් හිමිකාර 39 හැවිරිදි කාන්තාව ද ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත