නිමල් ලන්සා ජනපතිගෙන් කළ ඉල්ලීම


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළිනොගන්නා බැවින් පිළිගත හැකි යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනාතවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා මහතා පැවසීය.

මීගමුව, වැල්ලවීදියේ දේශපාලන කාර්යාලයේදී අද (15දා) පැවති මාධ්‍ය හමුවකදී  නිමල් ලාන්සා මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.මෙහිදී තවදුරටත් අදහස් පළ කළ හිටපු මන්ත්‍රීවරයා මෙසේද කීය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු කියන මතයේ එදා පටන් හිටියා. පාස්කු ප්‍රහාරය සිදු වුණේ යහපාලන ආණ්ඩුව කාලයේ. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් වුණේ නැහැ කියන එක ගැන යහපාලන ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. ගෝඨාභය හා රනිල් පාලන කාලවලදීත් විධිමත් පරීක්ෂණයක් වුණේ නැහැ කියලා චෝදනාවක් එල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටත් එම චෝදනාව එල්ල වුණා.

සියලුම අණ්ඩු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. ඒ සම්බන්ධයෙන් කතෝලික සභාව සතුටු නැහැ. සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමා කතෝලික ජනතාව මෙවර මැතිවරණයේදී සියලුම නායකත්වයන් පරාජයට පත් කරලා අලුත් නායකත්වයක් ගේන්න කටයුතු කළේ. කතෝලික ජනතාව හා කතෝලික සභාව බලාපොරොත්තු වෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගෙන්  සාධාරණත්වය හා යුක්තියයි .

 විපක්ෂයේ සිට විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීම තමා අපේ අරමුණ. ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. අද ජනතාවට කියපු දේවල් නෙමේ මේ අය කරන්නේ. වෙනසක් කරයි කියලා ජනතාව, තරුණ තරුණියන් විශ්වාස කළා. ජාතික ජන බලවේගය වේදිකාවේ හිටපු අයට තනතුරු දෙන්නේ දක්ෂයන්ට, සුදුස්සන්ට නෙමේ. තරුණ තරුණියෝ බලාපොරොත්තු වුණ වෙනස වෙලා නැහැ.

තරුණ තරුණියන්ට තැනක් දෙනවා කිව්වට නාමයෝජනා තුළ එම නියෝජනයක් නැහැ. අනුර කුමාර මහතා බලයට ගෙන ඒමෙන් බලාපොරොත්තු වුණේ වෙනසක්. ඒ දේ වෙලා නැහැ. පසුගිය කාලසීමාවේ මැතිවරණ වේදීකාව තුළ පවුල්වාදය පිළිබඳ කතා කළා. විපක්ෂයේ කිසිම ලැයිස්තුවක එකම පවුලේ දෙන්නා තුන් දෙනා ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි ජාතික ජාතික ජන බලවේගය තුළ තාත්තලා, පුතලා, අම්මලා, දුවලා ඉදිරිපත් වෙනවා. ”



Recommended Articles