නින්දවූර් ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති, ගුරුවරයෙක් හා තවත් දෙදෙනෙක් අල්ලයි


නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලැබූ සමන්තුර ප්‍රදේශයේ පදිංචි සිසුන්ට පවතින අධික වර්ෂාව නිසා  නිවාඩු ලබා දී   සිසුන් අනාරක්ෂිතව ට්‍රැක්ටරයක දමා  නිවෙස්වලට යැවිම පිළිබඳව එම විදුහල්පතිවරයා  සහ ගුරුවරයෙකු සමග  තවත් පුද්ගලයන්  දෙදෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 26 වැනි දින ඇතිවූ අයහපත් වාතාවරණය නිසා මෙම සිසුන් නිවසට යැවීමට විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මඩුල්ල තීරණය කර ඔවුන් විදුහලෙන් පිටත් කර තිබේ.

කාර්තිව් හන්දිය දක්වා පැමිණි මෙම සිසුන් සමන්තුරේ බලා  යෑමට වාහනයක් නොතිබූ නිසා මාවඩිපල්ලි මාර්ගයේ ගමන් කරමින් තිබූ ටැක්ටරයක නැගී ගමන යෑමට පිටත්ව තිබේ.

එම යන අතරතුරදී ටැක්ටරය පාරෙන් ඉවතට පැන පෙරළීම නිසා සිසුන් හයදෙනෙකු ඇතුළු අට දෙනෙක් අතුරුදන් වී ඇත.ට්‍රැක්ටරයේ ගමන් ගත් සිසුන් පස්දෙනෙක් පමණක්  බේරා ගැනීමට අවට සිටි පිරිස් සමත්වූහ.

මෙම සිදුවීම පිළිබඳව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී එන්. ජයපත්ම මහතා ගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ අතර එම පරීක්ෂණය අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා විසින් සිදුකර මෙම සිව්දෙනා අත් අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය.

අත් අඩංගුවට ගත් මෙම පිරිස සමන්තුරේ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.

මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ නින්දවුර්  කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ විදුහල්පති  එම්සී.එම්.පාහිර් ඇතුළු සිව්දෙනෙකි.

අම්පාර වසන්ත චන්ද්‍රපාල



Recommended Articles