නිධානයකින් ගොඩ ගත් දේ ව්‍යාපාරිකයෙකුට විකුණන්න බැරි වෙයි


රුපියල් කෝටි පහක් වටිනා නිධානයකින් ගොඩ ගත් බව පවසමින්, කිලෝ දෙකක් බර රන්කාසි දහසකට වැඩි ප්‍රමාණයක් සහ කිලෝ හතරකට වැඩි දඹරන් බුදු පිළිමයක් මහනුවර ව්‍යාපාරිකයෙකුට  රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණීමට යාමේදී අද (7දා) පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර පරසන්ගස්වැව  සහ දේවානම්පියතිස්සපුර  යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 60 සහ 52 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

අදාල ව්‍යාපාරිකයා ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පුවත් පතක පළ කර තිබූ දැන්වීමකින්, දුරකථන අංකය ලබා ගෙන මෙම ව්‍යාපාරිකයාට  ඇමතුම් ලබා ගත් සැකකරුවන් පවසා ඇත්තේ, රුපියල් කෝටි පහක් පමණ  වටිනා දඹරන් පිළිමයක් රන්කාසි තොගයක්  තමන් නිධානයකින් ගොඩ ගත් බවත්, කෝටි පහක් වටිනා එම නිදන් වස්තු රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට මිල  අඩු කර  අලෙවි කරන බවය.

අනතුරුව, එයට එකඟ වූ ව්‍යාපාරිකයා එම රන්කාසි සහ පිළිමය පරීක්ෂා කර බලා මිලට ගැනීමට යාමේදී, පොලිස් උපාය දූතිකාවක් යොදවා අනුරාධපුර පැරණි බස් නැවතුම්පල ආසන්නයේදී  සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම රන්කාසි තොගය කිලෝ දෙකක් පමණ වටිනා බවත් එහි රන්කාසි 1000 කට වැඩි ප්‍රමාණයක් තිබූ බවත්, එම රන්කාසි වල පැරණි විවිධ අක්ෂරයන් යොදා තිබූ බව පොලිසිය කියයි.

මෙහිදී අත්අඩංගුවට ගත් දඹ රන් යැයි කියන බුදු පිළිමයේ සුවඳ හමන තෙලක් ගල්වා තිබූ අතර, එම පිළිමයේ සිවුරේ රැළි අතර පස් තිබූ බවත්, එම පිළිමය පොළොව යටින් ගොඩ ගත් බව හැඟවීමට සැකකරුවන් සූක්ෂම ලෙස  පිළිමයේ පස් තැන්පත් කරන්නට ඇති බවට සැක කරන බවත්  පොලිසිය කියයි. 

මෙම කාසි  සහ බුදු පිළිමය පුරා විද්‍යා වටිනා කමක් තිබේද යන්න දැන ගැනීම සඳහා පුවිද්‍යා වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කලේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. 

 



Recommended Articles