නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලීසියේ 1000ක්


අද (04දා) පැවැත්වෙන 77වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබෙන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

නිදහස් උත්සවය සඳහා පැමිණෙන ආරාධිතයන් උදෑසන7.00ට පෙර පැමිණ අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, මෙම සියලුම දෙනාට නිදහස් මාවත දෙසින් පැමිණීමට හැකි බවද පැවසීය.

මහජනතාවට බෞද්ධාලෝක මාවත රූපවාහිනී සංස්ථාව දෙසින් පැමිණි ආසනවල  අසුන් ගත හැකි බවත්, අද දින ඒ අවට සමහර ප්‍රදේශවල රථවාහන ඇතුල් වීම සීමා කර තිබෙන බවද සඳහන් කළේය.

මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් අනන්‍යතාවය පරීක්ෂා කර බලා ඇතුල් වීමට අවස්ථාව ලබා දෙන බවත්, මේ නිසා මාර්ගය වසා තබා තිබෙන ප්‍රදේශ මගහැර කොළඹ දෙසට හෝ කොළඹින් පිටතට ගමන් කිරීමට අවස්ථාව තිබෙන බවද පැවසීය.

පෙළපාළිය ගමන් කරන අවස්ථාවේදී නිදහස් චත්‍රරස්‍රය දෙසට වාහන ඇතුල් කිරීමට අවස්ථාව නොමැති බවත්, විකල්ප මාර්ග භාවිත කර ගමන් කිරීමට මහජනතාවට හැකි බවද සඳහන් කළේය.

ආරාධනා පත්‍ර රැගෙන අමුත්තන්ට ඇතුල් විය හැකි මාර්ග කිව්ආර් කෝඩ් එක තුළ සඳහන් කර තිබෙන බවත්, ඒ අවට රථවාහන නැවැත්වීම සඳහාත් නැවතුම්පොළවල් සකස් කර තිබෙන බවද පැවසීය.

ත්‍රිවිධ හමුදා රථ පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා වාහන නැවැත්වීම සඳහාත් ස්ථාන සකස් කර තිබෙන බවත්, ජනතාවට අපහසුතාවයකින් තොරව නිදහස් උත්සවය නැරඹීම සඳහා අවස්ථාව සලසා දී තිබෙන බවද සඳහන් කළේය.



Recommended Articles